පිට පිට තෙවැනි වසරටත් මිල්කෝ රු.මි. 600ට වඩා පාඩුයිලු

හයිලන්ඩ් සන්නාමය හිමි මිල්කෝ සමාගම පසුගිය වසරේදී අත්කරගත් අලාභය රුපියල් මිලියන 619ක් බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව 2017 වසරේ සිට පිට පිට තෙවැනි වසරටත් මිල්කෝ සමාගම පාඩු ලැබූ අවස්ථාව බවටත් මෙය පත්ව තිබේ. 2017 වසරේදී සහ 2018 දීද සමාගම රුපියල් මිලියන 606 බැගින් පාඩු ලබා තිබේ. කෙසේ වෙතත් 2015 දී එය රුපියල් මිලියන 327ක ලාභයක් ලබා ඇත.

මිල්කෝ සමාගම සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සකස් කළ දත්ත වාර්තා යොදා ගනිමින් මුදල් අමාත්‍යාංශය සකස් කළ 2019 වාර්ෂික වාර්තාව තුළ මේ බව සඳහන්ව තිබේ.

ඒ අනුව පසුගිය වසරේදී මිල්කෝ සමාගම ලැබූ ආදායම රුපියල් මිලියන 10,373 කි. එහෙත් එය 2018 වසරේදී ලැබූ ආදායම වූ රුපියල් මිලියන 12,031ට වඩා රුපියල් මිලියන 1,658 ක ආදායම් අහිමි වීමකි. එසේම වෙනත් ආදායම් යටතේද 2019 වසරේදී මිල්කෝ සමාගම ලබා ගෙන ඇත්තේ රුපියල් මිලියන 75ක ආදායමක් පමණකි. එහෙත් 2015 සිට 2018 දක්වාම පිළිවෙලින් රුපියල් මිලියන 426ක්, 327ක්, 432ක් සහ 414ක් ලෙස වෙනත් ආදායම් රැස් කරගැනීමට සමාගම සමත්ව ඇත.

මේ අතර, 2019 වසරේදී මිල්කෝ සමාගමේ වියදම් රුපියල් මිලියන 1,645කින් අඩුවීමත් විශේෂත්වයකි. මෙම දත්ත වාර්තාවට අනුව 2018 වසරේදී මිල්කෝ සමාගමේ සමස්ත වියදම රුපියල් මිලියන 12,637 කි. එහෙත් 2019 වසරේදී එම වියදම 10,992 දක්වා අඩුව තිබේ. එහිදී ඍජු වියදම් කැපී පෙනෙන ලෙස අඩුව ඇති අතර, එහිදී පරිපාලන වියදම් සහ මූල්‍ය පිරිවැය එලෙසින්ම පැවතී ඇත.

මිල්කෝ සමාගම සඳහන් කරන ආකාරයට 2019 වසරේදී සිය කිරිගොවීන් 55,000කට ආසන්න ප්‍රමාණයකගෙන් එකතු කරගත් කිරි ප්‍රමාණය කිරි ලීටර් මිලියන 67කි. එහෙත් එය 2018 වසරේදී එකතු කරගත් කිරි ලීටර් මිලියන 91ට සාපේක්ෂව 26%ක අඩුවීමකි.

විශේෂයෙන්ම 2019 වසරේ දෙවැනි අර්ධය තුළදී ගවයන් අතර ව්‍යාප්තව වුණු කුර සහ මුණ රෝගය මෙන්ම  කර්මාන්තයේ පවතින තරගකාරීත්වයත් යන කාරණා සමග, සැපයුම් දාම කළමනාකරණයේ ඇති වූ දුර්වලතා නිසා හටගත් සැපයුම්කරුවන්ගේ ගෙවීම් ප්‍රමාදවීම් මිල්කෝ සමාගමේ මෙම කිරි එකතු කිරීම් අඩුවීමට හේතු වී තිබේ.

මිල්කෝ සමාගම සිය ‘හයිලන්ඩ්’ සන්නාමය යටතේ මේ වනවිට යෝගට්, පාශ්චරිත කිරි, මුදවන ලද කිරි, බටර්, අයිස් ක්‍රීම්, එළගි තෙල්, චීස් සහ කිරි පිටි යන නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරයි. අද වනවිට මිල්කෝ සමාගම සිය අනෙකුත් තරගකාරී කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගම් පරදවමින් යෝගට් සහ දියර කිරි වෙළෙඳ පොළේ මුල් තැන දිනා ගැනීමට සමත්ව සිටියි.

Views: 638