ෆොන්ට් නිර්මාණකරුවන්ට වටිනාකමක් දීමට යන අකුරු ෆෞන්ඩ්‍රිය

ශ්‍රී ලංකාවේ සිංහල පරිගණක අක්ෂර (ෆොනුරූ/ෆොන්ට්) ක්ෂේත්‍රයේ පවතින ප්‍රමාණාත්මක අඩුව පිරවීමේ අරමුණින් ආරම්භ වුණු අකුරු ෆෞන්ඩ්‍රිය, නිර්මාණකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන නව අකුරු මෝස්තර සඳහා වටිනාකමක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි පවසයි.

දැනටමත් ශ්‍රී ලාංකික පරිගණක අක්ෂර නිර්මාණකරුවන්ගේ දැනුම හුවමාරු කරගැනීමටත් නව දැනුම ලබා දීමටත් ක්‍රියාත්මක ‘අකුරු සාමූහිකය’ සහ ‘Institute of Typography’ හි අලුත්ම සාමාජිකයා වන්නේ මෙම අකුරු ෆෞන්ඩ්‍රියයි. https://www.facebook.com/AkuruFoundry හරහා ඒ වෙත පිවිසිය හැකිය.

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපය තුළ නිදහස් සහ නොමිලේ ලබා දෙන ෆොනුරූ ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම හා පවත්වාගෙන යාම සඳහා දායකත්වය ලබා දෙන සාමුහිකයක් ලෙස අකුරු ෆෞන්ඩ්‍රිය හැඳින්වෙයි. අක්ෂර නිර්මාණශිල්පීන් පිරිසකගේ එකමුතුවෙන් මෙය ආරම්භ වී තිබේ.

කෝසල සෙනෙවිරත්න, චමින්ද කුමාර, ජනක අත්තනායක, තාරික් අසීස්, දමිත් වැලිකල, පැතුම් එගොඩවත්ත, ප්‍රභාත් අරවින්ද සහ ලලිත් රත්නායක යන නිර්මාණ ශිල්පීන්  එම සාමාජිකයෝ වෙති.

ඒ අනුව මේ යටතේ ජූනි මාසයේ සිට සෑම මාසයකටම එක් ෆොනුරුවක් බැගින් නිකුත් කිරීමටත්, ඉදිරියේදී එම ෆොනුරූ මිලදී ගැනීම සඳහා වන දායකත්ව ක්‍රමයක් බිහි කර එම නිර්මාණකරුවන් සඳහා අරමුදල් සපයා ගැනීමේ කටයුත්තක් ආරම්භ කිරීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

“අප විශ්වාස කරන ආකාරයට, ටෛපොග්‍රැපි යන විෂය සමාජ, සංස්කෘති සහ ආර්ථික මෙන්ම සාමාජීය විශ්වාසන් කෙරෙහිද සාධනීය වශයෙන් බලපවත්නා වූ යටිතල අවශ්‍යතාවකි. තමන්ගේ ප්‍රකාශනයේ මූර්ත අදහස හුවා දැක්විය හැකි ආකාරයේ උසස් ප්‍රමිතිගත ෆොනුරූ සුලබව ලබා ගැනීමේ හැකියාව අපට තිබිය යුතුය.” අකුරු ‍ෆෞන්ඩ්‍රිය පවසයි.

ඒ අනුව සෑම මසකදීම ඉදිරිපත් කරන නව ෆොනුරුව යටතේ, ලබන ජූනි 20 වැනිදා අකුරු ෆෞන්ඩ්‍රිය හරහා අක්ෂර නිර්මාණ ශිල්පී දමිත් වැලිකල මහතා විසින් නිර්මාණය කරන ලද ‘මොටා ටයිප් වන්’ නම් අලුත්ම ෆොනුරුව එළිදැක්වීමට අකුරු ෆෞන්ඩ්‍රිය කටයුතු යොදා ඇත.

මොටාගෙදර වනිගරත්න මහතා 1960 දශකයේදී ඇත්ත පුවත්පත වෙනුවෙන් නිර්මාණය කළ මෙම ටයිටල් අකුරු මෝස්තරය ඇසුරෙන් දමිත් වැලිකල විසින් මෙම නිර්මාණය සිදු කර තිබේ. ඔහු වැලිකල අකුරු මෝස්තර සන්නාම යටතේ දැනටමත් ෆොනුරූ කිහිපයක්ම එළිදක්වා තිබේ.

මේ අවස්ථාව සම්බන්ධයෙන් ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත අදහස් දක්වන  අකුරු ෆෞන්ඩ්‍රියේ සාමාජික පැතුම් එගොඩවත්ත මහතා, “අපිට පෙනෙන හැටියට ලංකාවේ සිංහල පරිගණක ෆොන්ට්වල ලොකු අඩුවක්, හිඟයක් තියෙනවා. හැබැයි අලුත් ෆොන්ට් එකක් හදන්න  යන වෙලාවටයි, ඒ උත්සාහයට ගැලපෙන විදියටයි මිලක් ගෙවන්න තවමත් ලංකාවේ ෆොන්ට් සඳහා වෙළෙඳ පොළක් නිර්මාණය වෙලා නැහැ. සාමාන්‍යයෙක් හොඳ ෆොන්ට් එකක් හදන්න මාස තුන හතරක කාලයක් ගත වෙනවා. ඒත් අන්තිමේදී නිර්මාණකරුවාට ඒ සඳහා යොදන්න වෙන්නේ ඉතාමත් සුළු වටිනාකමක්.” යනුවෙන් පවසා සිටියේය.

පැතුම් එගොඩවත්ත

වැඩිදුරටත් අදහස් දැක්වූ පැතුම් එගොඩවත්ත මහතා, ලබන ජූනි 20 වැනිදා නිකුත් කරන දමිත් වැලිකල නිර්මාණය කළ මොටා ටයිප් වන් ෆොනුරුව එම උත්සාහයේ ආරම්භය බවත්, ඉදිරියේදී නිර්මාණකරුවන්ගේ මෙම ෆොනුරූ නිර්මාණ සඳහා යම් වටිනාකමක් ලබාදීමටත් කටයුතු කරන බව සඳහන් කරයි.

“අකුරු ෆෞන්ඩ්‍රියේ පළමු අවස්ථාව නිසා තමයි අපි මේ මොටා ටයිප් වන් ෆොනුරුව නොමිලේ ඕනෑම කෙනෙකුට භාගත කරගැනීමට අවස්ථාව දෙන්නේ. ඊට පස්සේ ජූලි මාසයේ ඉදන් අපි දායකත්ව ක්‍රමවේදයකට යනවා. ඒ කියන්නේ අපි හැම මාසෙකම අලුත් ෆොනුරුවක් නිකුත් කරනවා. දැනටමත් ඒ සඳහා ෆොනුරු ලැයිස්තුවක් අප සතුයි. හැබැයි දායකත්ව මුදලක් ගෙවන පිරිසට පමණයි එය මිලදී ගෙන ඕනෑම ආකාරයකට තමන්ගේ නිර්මාණ සඳහා භාවිත කළ හැක්කේ. මෙතැනදී දැනට අපි දායකත්ව මුදල මාසයකට රුපියල් 2,000ක් විදියට නම් කරලා තිබෙනවා. මෙය දායකත්ව අරමුදල් සම්පාදනයක් විදියට පවත්වාගෙන යාම තමයි අපේ අකුරු ෆෞන්ඩ්‍රියේ අරමුණ වෙන්නේ.”

සාමාන්‍යයෙන් මෙම වෘත්තීය මට්ටමේ පරිගණක අක්ෂර මෝස්තර සම්බන්ධව පවතින ජාත්‍යන්තර වෙළෙඳ පොළට අනුව ෆොනුරුවක් අලෙවි කිරීම යනු එම ෆොනුරුව භාවිත කිරීම සඳහා වන බලපත්‍ර අලෙවි කිරීමකි. එනම් මෙම ෆොනුරුවට අදාළ පරිගණක ගොනුව (.ttf) නොව එය එක් පරිගණයක් හෝ පරිගණක කිහිපයක් තුළ හෝ භාවිත කිරීමට අවශ්‍ය බලපත්‍රය එහි වටිනාකම ලබා දී මිලදී ගැනීමකි.

“ඒත් ලංකාවේ හුඟ දෙනෙකුට මේ නිර්මාණ ගැන නිර්මාණකරුවන් ගැන හැඟීමක් නැහැ. ඒ නිසා මේ බලපත්‍ර මිලදී ගැනීමක් ගැන යොමු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද රටේ තියෙන බොහෝමයක් මෘදුකාංග වුණත් පයිරේට් කොපි විදියට තියෙන්නේ. ඒ වගේම නිර්මාණකරුවන් නියම කරන මුදලකට මේ බලපත්‍ර මිලදී ගැනීමේ හැකියාවකුත් අපේ වගේ රටකට නැති එක.

මෙතෙක් කලක් ලංකාවේ මේ පරිගණක අකුරු නිර්මාණය කරපු නිර්මාණකරුවන් වුණත් තමන්ගේ නිර්මාණ නොමිලේම දීලා තියෙනවා, එහෙමත් නැත්නම් බොහෝම අඩු මුදලකට තමයි ඒවා අලෙවි කරලා තියෙන්නේ. අපි ගත්තොත් මේ අකුරු නිර්මාණය කරපු ගොඩ දෙනෙක් විනෝදාංශය විදියට ඒ සඳහා යොමු වුණු අය. ඒ වගේම වෘත්තීය විදියට මේ අකුරු නිර්මාණය කරන නිර්මාණකරුවන් ඒ සඳහා වන සුදුසු මිල නියම කරනවා අපි දැකලා තියෙනවා.”

ඒ අනුව විනෝදාංශයක් ලෙස මෙම අකුරු නිර්මාණයේ යෙදෙන නිර්මාණකරුවන්ට සිය වටිනාකම  වර්ධනය කරගැනීම සඳහා අවස්ථාවක් ලබාදීම අකුරු ෆෞන්ඩ්‍රිය  හරහා සිදුවන බව පැතුම් එගොඩවත්ත පවසයි. එසේම වඩාත් ගුණාත්මක අකුරු නිර්මාණය සඳහා ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාදීමත්, ඒ හරහා ඔවුන්ද වෘත්තීය මට්ටමේ අකුරු නිර්මාණකරුවන් බවට පත් කිරීමත් එමගින් රටෙහි පවතින සිංහල අකුරු හිඟය මඟහැරවීමත් අකුරු ෆෞන්ඩ්‍රියේ අපේක්ෂාව වී ඇත.

මෙම වසරේ සිට අකුරු ෆෞන්ඩ්‍රි සාමාජික ගාස්තුවක් හරහා කැමති ඕනෑම අයෙකුට මේ සඳහා දායකත්වය ලබා දීමේ හැකියාව පවතී. ඒ අනුව මෙම සමූහයේ සාමාජිකයන්ට 2020 ජුනි මස සිට අකුරු ෆෞන්ඩ්‍රිය හරහා සෑම මසකම නිකුත් කරන නවතම සිංහල ෆොනුරූ ලබා ගැනීමේ අවස්ථාව උදා වෙයි.

ඊට අමතරව මෙම සාමාජිකයන්ට පහත ප්‍රතිලාභයන් ද හිමිවීමට නියමිතය. දායකත්ව ලැයිස්තුවේ නම සටහන් වීම, ෆොනුරූ පිළිබඳ නවතම තොරුතුරු දැනගැනීමට හැකිවීම, ඉදිරීයේදී නිකුත් විය යුතු ෆොනුරූ සඳහා මනාපය පළ කිරීමේ හැකියාව, විශේෂ අලෙවි භාණ්ඩ (පෝස්ටර්, පෝස්ට්කාඩ්, ටීෂර්ට්) සඳහා වට්ටම්, යුනිකෝඩ් භාවිතය පිළිබඳ නොමිලේ වැඩමුළු, අකුරු සාමුහිකයේ ඉසව් සඳහා විශේෂ වට්ටම් සහ අක්ෂර නිර්මාණ කටයුතු සඳහා පහසු මිල ගණන් යටතේ කාර්යාල ඉඩකඩ එම අවස්ථාවන් වෙයි.

“ෆොනුරුවක් විධිමත්ව මිලට ගෙන පාවිච්චි කිරීමට තරම් ශක්තියක් ඇති වෙළඳපොලක් තවමත් මෙරට තුළ නිර්මාණය වී නොමැත. විවිධත්වයෙන් යුතු ෆොනුරූ නිර්මාණ යනු සංස්කෘතියේම ප්‍රකාශනයකි. එබැවින් ෆොනුරූ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි එක්ව කටයුතු කළ යුතු කාලය උදා වී ඇත.” අකුරු ෆෞන්ඩ්‍රිය අවසන් වශයෙන් පවසයි.

දමිත් වැලිකල

1986 නොවැම්බර් මස වරකාපොළදී උපත ලැබූ දමිත් වැලිකල මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය හදාරා 2006 වසරේදී කලා විෂය ධාරාව යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී සිංහල විශේෂවේදී උපාධිය හදාරනු ලැබීය. 2013 වසරේ එම විශ්වවිද්‍යාලයෙන්ම සිංහල විෂය පිළිබඳ ශාස්ත‍්‍රපති (MA) උපාධිය ද 2016 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය (MPA)දලබා ඇත.

යෞවන නාට්‍ය උළෙල අවසන් වටය නියෝජනය කරමින් කෙටි නාට්‍යකරුවකු ලෙස 2008 වසරේදී නිර්මාණකරණයට පිවිසුණු මොහු කවියෙකු සහ විචාරකයෙකු ලෙස ද මේ දක්වාම නිර්මාණ කටයුතු රැසකට දායකත්වය සපයමින් සිටියි. 2012 සහ 2017 වසරවලදී හොඳම කෙටි නාට්‍ය පිටපතට හිමි රාජ්‍ය සම්මානයන් ද දිනා ඇති අතර වේදිකා පරිපාලකයෙකු වශයෙන් ද යෞවන සහ රාජ්‍ය සම්මාන දිනා ඇත.

දමිත් වැලිකල

රාවය, දිවයින, ලක්බිම සහ ඇත්ත පුවත්පත් සඳහා මෙන්ම බූන්දි වෙබ් අඩවිය වෙනුවෙන් ද නිර්මාණ හා විචාර රැසක් සම්පාදනය කොට ඇති දමිත් වැලිකල, වෘත්තියෙන් නිර්මාණ අධ්‍යක්ෂවරයෙකි.

2019 වසරේදී තම අත්අකුරු ඇසුරින් ෆොනුරුවක් නිර්මාණය කරමින් මුල් වරට අක්‍ෂර නිර්මාණකරණයට පිවිසෙන ලද අතර පැරණි ශ‍්‍රී ලංකාවේ භාවිත සිංහල අකුරු මෝස්තර ගවේෂණය කරමින් ඒවා ෆොනුරූ ලෙස සංරක්‍ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව මොහු විසින් ආරම්භ කරන ලද ‘සිලොන් කැලිග‍්‍රැපි’ ෆොනුරූ එකතුව හරහා දැනට නිර්මාණ කොට ඇති ෆොනුරූ සංඛ්‍යාව 7කි.

මොටාගෙදර ෆොනුරුව

ඇත්ත පුවත්පත වෙනුවෙන් 1960 දශකයේදී මොටාගෙදර වනිගරත්න සූරින් විසින් නිර්මාණය කරන ලද මොටා ටයිප් අකුරු මෝස්තර එකතුවෙන් තෝරාගත් මෝස්තරයක් ඇසුරින් මෙම ෆොනුරුව සකස් කොට ඇත.

අඩසියවසකට ආසන්න කාලයක් පුරා ඇත්ත පුවත්පතේ මුල් පිටුවේ ප‍්‍රධාන සිරස්තලය හැඩ කරන්නට යොදා ගත් මෙම අකුරු මොස්තරය එවක ඉතාමත් ජනප‍්‍රියත්වයට පත්ව තිබූ අකුරු මෝස්තරයක් විය.

අක්‍ෂරවල ඉහළ සහ පහළ දාර වැඩි ගණකමකින් යුතුව නිර්මාණය වී තිබීමත් අක්‍ෂරාන්ත (TypographicalTerminals)සඳහා පැරණි සිංහල කැටයම් රටා භාවිත කොට තිබීමත් මෙහි ඇති විශේෂත්වයයි. අක්‍ෂරයේ ස්වභාවය අනුව පිලි වර්ග කිහිපයක් භාවිතා කොට ඇති අතර ක,ත,න අක්‍ෂර 3 සඳහා වෙනම ඉස්පිල්ලක් භාවිත වී තිබීමද විශේෂත්වයකි.

පරිගණක අක්‍ෂර කලාව මෙරට ප‍්‍රචලිත වීමත් සමඟ පැරණි අච්චු අකුරු මෝස්තර රැසක්ම භාවිතයෙන් ඉවත් වූ අතර මොටා ටයිප් අකුරු මෝස්තර එකතුව ද ඒ අතර විය.

අක්‍ෂර නිර්මාණ ශිල්පී දමිත් වැලිකල විසින් 2020 වසරේ දී Motta Type 1නමින් මෙම අකුරු මෝස්තරය ෆොනුරුවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කරන ලද අතර එහි ASCII සහ යුනිකෝඞ් සංස්කරණයන් දෙකම අකුරු ෆෞන්ඩි‍්‍ර වෙබ් අඩවිය හරහා නොමිලේ නිකුත් කොට ඇත.

Visits: 328