තාප විදුලි බලාගාරවල පාරිසරික හා සමාජීය ආර්ථික හානිය ගණන් බැලේ

මෙරටට අවශ්‍ය විදුලිය නිපදවීම සඳහා ක්‍රියාත්මක තාප විදුලි බලාගාරවලින් සිදු වන පාරිසරික සහ සාමාජීය බලපෑමේ ආර්ථික හානිය පිළිබඳව ඇස්තමේන්තුවක් සකස් කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ තාප බලාගාරවල බාහිර පිරිවැය පිළිබඳ අධ්‍යයනයක් මගින් මෙම ඇස්තමේන්තුව සකස් කළ බව එම කොමිෂන් සභාව පවසයි.

මෙම අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක නොරොච්චෝලේ බලාගාරය, යුගදනවි බලාගාරය, කැලණිතිස්ස බලාගාරය හා සපුගස්කන්ද බලාගාරය යන තාප බලාගාර වර්ග 4ක් පාදක කරගෙන ඇත. මෙහිදී කිලෝ වොට් 1ක විදුලියක් උත්පාදනයේදී වැයවන බාහිර ආර්ථිකමය පිරිවැය පිළිබඳව ගණන් බලා තිබේ.

“විදුලි බලාගාරවලින් විදුලිය ජනනයේදී වායු දූෂණය, ජල දූෂණය, විෂ ද්‍රව්‍ය නිකුත්වීම හා හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් විශාල පරාසයක පරිසර ගැටළු ඇති කරයි. මෙම පාරිසරික ගැටළු හේතුවෙන් අහිතකර ප්‍රජාමය, සමාජමය සහ පාරිසරික වියදම් හෙවත් බාහිර පිරිවැයක් දැරීමට සිදුවන අතර තාප විදුලිබලාගාරවලින් විදුලිය ජනනයේදී සිදුවන සැබෑ ආර්ථික පිරිවැය නිවැරැදිව ගණනය කල යුතු වේ.” කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමයේ බලශක්ති විශේෂඥයන්ගේ කණ්ඩායමක සහාය ඇතිව මෙම අධ්‍යයනය සිදු කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. 2017 වසරේදී ලබා ගත් දත්ත අනුව මෙම වාර්තාව සකස් කෙරී ඇත.

ඒ අනුව, ගල් අඟුරු දැවීමෙන් ක්‍රියාත්මක ලක්විජය (නොරොච්චෝලේ) බලාගාරය හරහා කිලෝවොට් 1ක විදුලියක් උත්පාදනයේදී සිදුවන බාහිර ආර්ථිකමය පිරිවැය රුපියල් 10.23 කි. එසේම දැවි තෙල් යොදා ගනිමින් ක්‍රියාත්මක යුගදනවි බලාගාරය මගින් සිදුවන ආර්ථික පිරිවැය රුපියල් 4.53 කි. ඩීසල් යොදා ගෙන ක්‍රියාත්මක කැලණිතිස්ස බලාගාරය මගින් සිදුවන පිරිවැය රුපියල් 7.55 ක් ලෙස ගණන් බලා ඇත. දැවිතෙල් යොදා ගන්නා සපුගස්කන්ද බලාගාරය මගින් සිදුවන ආර්ථික පිරිවැය රුපියල් 4.65 කි.

මෙහිදී වැඩිම ආර්ථික පිරිවැය සිදු කරන බලාගාරය බවට ගල් අඟුරු යොදා ගෙන විදුලිය නිපදවන නොරොච්චෝලේ බලාගාරය ඉතා විශාල පරතරයකින් ඉදිරියෙන් සිටින බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ අනෙකුත් සියලුම බලාගාර මගින් සිදුවුණු ආර්ථික පිරිවැය ගෙවුණු වසර හයක කාලසීමාවේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීමත් මෙහි විශේෂත්වයකි.

ඒ අනුව, යුගදනවි බලාගාරය මගින් සිදුව ඇති ආර්ථික හානිය 2011 වසරේදී රුපියල් 2.33 ක් ලෙස සටහන්ව තිබී ඇත. එම අවස්ථාවේදී බලාගාරය මගින් නිපදවා ඇති විදුලි ධාරිතාව ගිගාවොට් පැය 1,186 කි. කෙසේ වෙතත් 2017 දී ආර්ථික පිරිවැය රුපියල් 4.53ක් දක්වා ඉහළ නැග ඇත්තේ ගිගාවොට් පැය 1,193.6 ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනයේදීය.

එසේම කැලණිතිස්ස බලාගාරයෙන් සිදුවන බාහිර ආර්ථික පිරිවැය 2011 වසරේදී රුපියල් 4.30 ක් ලෙස සටහන්ව ඇත. එම අවස්ථාවේදී නිපදවා ඇති විදුලි ධාරිතාව ගිගාවොට් පැය 320.3 කි. එහෙත් 2017 දී රුපියල් 7.55ක ආර්ථික පිරිවැයක් දරමින් නිපදවා ඇත්තේ ගිගාවොට් පැය 401කි.

මීට අමතරව සපුගස්කන්ද බලාගාරය මගින් 2011 වසරේදී සිදුව ඇති ආර්ථික පිරිවැය රුපියල් 2.47 කි. එහිදී නිපදවා ඇති විදුලි බලධාරිතාව ගිගාවොට් පැය 910.9ක් වන අතර 2017 දී රුපියල් 4.65ක  බාහිර ආර්ථික පිරිවැයක් දරමින් නිපදවා ඇත්තේ ගිගා වොට් පැය 692.7 කි.

මේ අතර, අධ්‍යනයේදී හෙළි වු ඉහත දක්වා ඇති බාහිර පිරිවැය දත්ත හා ක්‍රමවේදයෙහි වලංගුතාවය තවදුරටත් තහවුරු කරගැනීම සදහා සියළු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමටද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදහස් කරගෙන සිටින බව පවසයි.

“2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 17 (ඇ) වගන්තිය හා 2009 අංක 20දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (සංශෝධිත) 3(ඔ) වගන්ති යටතේ මෙම මහජන උපදේශනය පැවත්වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ තාප බලාගාරවලින් විදුලිය ජනනයේදී සිදුවන බාහිර පිරිවැය ඇස්තමේන්තු සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස සියලු පාර්ශ්වයන්ට ඇරයුම් කර සිටී. අදහස් හා යෝජනා consultation@pucsl.gov.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.”

ලිඛිත අදහස් හා යෝජනා ලබාගැනීමේන් අනතුරුව වාචිකව අදහස් දැක්වීමේ අවස්ථාවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. ඒ පිළිබද විස්තර ඉදිරියේදී දැනුම්  දෙන බවත් කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ තාප බලාගාරවලින් විදුලිය ජනනයේදී සිදුවන බාහිර පිරිවය ඇස්තමේන්තු පිළිබද අධ්‍යයන වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ඒ අනුව අධ්‍යයන වාර්තාව හා උපදේශන පත්‍රිකාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි ය.

වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක 0718622800 හරහා සහකාර අධ්‍යක්ෂ අනුෂිකා කඹුරුගමුව මහත්මිය ඇමතිය හැකි බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

Hits: 59