මුල් මාස තුනට ලංකා IOC පාඩුව රු.මිලියන 346ක්ලු

කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග ඇති වූ බලපෑම හේතුවෙන් 2019-20 මූල්‍ය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා වූ අවසන් කාර්තුව තුළදී තම සමාගම වෙත රුපියල් මිනියන 346ක අලාභයක් සිදු වුණු බව ලංකා අයි.ඕ.සී. (Lanka IOC PLC)සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සඳහන් කරයි. කෙසේ වෙතත් 2018-19 මූල්‍ය වසරේ එම කාලසීමාවේදීම තමන් රුපියල් මිලියන 937ක ලාභයක් ලැබූ බවද සමාගම පවසයි.

මෙම වසංගත තත්ත්වය හේතුවෙන් සිය මෙහෙයුම් වෙත සිදුවුණු බලපෑම සඳහන් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙත සිදු කළ දැනුම්දීමට පිළිතුරු ලෙන ලංකා අයි.ඕ.සී. සමාගම මෙම කරුණු අනාවරණය කර සිටියි. විශේෂයෙන්ම වසංගතය පාලනය සඳහා රජය පැනවූ ලොක්ඩවුන් සීමා සිය ව්‍යාපාර වෙත බලපෑම් එල්ල කළ බව සමාගම පවසයි.

“පැනවූ ලොක්ඩවුන් සීමා නිසා රටෙහි සමස්ත ආර්ථික ක්‍රියාවලියම එකවරම නැවතුනා. මහා මාර්ගවල රථවාහල ගමනාගමනය සිදු නොවන තැනට පත් වීම අපගේ සිල්ලර වෙළෙඳාමට එය බලපෑවා. අපගේ ඔටෝ ඉන්ධන අලෙවිය අප්‍රේල් 20 වැනිදා වනවිට 65%කින් අඩු වුණා. ඒ වගේම නෞකා ක්‍රියාකාරකම් අඩුවීම කොළඹ සහ ත්‍රිකුණාමල වරායන්හිදී සිදුකරන නෞකා සඳහා ඉන්ධන අලෙවි කිරීම් සඳහාත් බලපෑවා. ඊට අමතරව සෑම කර්මාන්තයක් පාහේ වසා දැමීම මෙන්ම රථවාහන ක්‍රියාකාරකම් අඩුවීමත් සමග ලිහිසි තෙල් සහ බිටුමන් අලෙවි ධාරිතාවන් වෙතද බලපෑවා.” ලංකා අයි.ඕ.සී. සමාගම සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ්-19 වසංගතය නිසා සිය ව්‍යාපාරය, මූල්‍ය තත්ත්වය, ද්‍රවශීලතාව වෙත ඇති වූ බලපෑම මෙන්ම මෙහෙයුම්හි ප්‍රතිඵල සඳහාත් අනාගතයේදී උදාවන යහපත් තත්ත්වයේ වර්ධනය හේතුවනු ඇතැයිද සමාගම මෙහිදී පවසා සිටියි.

එහිදී සමස්ත ආර්ථිකයේම යළි නැගී සිටීම, නිෂ්පාදන ඉල්ලුම ඉහළ යාම, ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල වෙනස්වීම යනාදී කාරණා බලපානු ඇති බවත්, එහෙත් එම කාරණා සියල්ලම අස්ථාවරවීම නිසා කිසිවක් පිළිබඳව විශ්වාසයෙන් පුරෝකතන ඉදිරිපත් කළ නොහැකි බවත් ඔවුන් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම අයහපත් තත්ත්වය පාලනය කරමින් ආර්ථිකයේ ඉක්මන් නැගී සිටීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගද සමගින් බැලූ විට රට ඉතාමත් නුදුරේදීම යථා තත්ත්වයට පත් වෙනු ඇතැයිද ලංකා අයි.ඕ.සී සමාගම විශ්වාසය පළ කරයි.

එතෙක් සිය වියදම් අඩුකිරීමටත්, මෙහෙයුම් යළි ගොඩනැගීමටත්, ඩිජිටල්කරණ මෙහෙයුම් වේගවත් කිරීමටත් සිය සියලුම කොටස්හිමිකරුවන් තුළ විශ්වාසය ගොඩනැගීමටත් කටයුතු කරන බවද සමාගම වැඩිදුරටත් අවධාරණය කර සිටියි.


Visits: 255