හෙට කොටස් වෙළෙඳ පොළ පස්වරු 1.00 දක්වා පමණයි

හෙට කොටස් වෙළෙඳ පොළ පස්වරු 1.00 දක්වා පමණයි

කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු හෙට (ජුනි 04) දිනයේදී පස්වරු 1.00 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් සඳහන් කරයි. හෙට දිනය සඳහා රජය විසින් ක්‍රියාත්මක ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, පෙරවරු 11 සිට පැය 2 ක කාලයක් පමණක් ගනුදෙනු සිදු වෙන බව කොටස් වෙළෙඳ පොළ පවසා සිටියි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පැන වූ ලොක්ඩවුන් සීමා නිසා දින 51ක් වසා දමා තිබූ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු පසුගිය මැයි 11 වැනිදා යළි විවෘත කිරීමෙන් අනතුරුව පස්වරු 1.00 දක්වා ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් මැයි 26 වැනිදා සිට කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු පස්වරු 2.30 දක්වා දීර්ඝ කිරීමට එහි බලධාරීන් පියවර ගෙන තිබුණි.

ජුනි 05 වැනි සිකුරාදා දිනය පෝය නිවාඩු දිනයක් වීම නිසා එදිනද කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ක්‍රියාත්මක නොවෙයි. ඒ අනුව යළිත් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වන්නේ ජුනි 08 වැනිදාය.

මේ අතර අද දිනයේදීද කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු පසුබැසීමක් පෙන්නම් කර තිබුණි. එහිදී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 4,785.81 ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 4.79 ක් එනම් 0.10% ක පසු බැසීමකි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 1,957.39 ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 15.39 ක් එනම් 0.78%ක අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

අද දිනය නිමා වනවිට ගනුදෙනු වූ සියලු කොටස් සංඛ්‍යාව 45,556,789 ක් ලෙස සටහන්ව තිබූ අතර සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.2ක් (1,211,374,558.50ක්) ලෙස සටහන්ව තිබුණි.

Scanned Image

Views: 23