ද ෆිනෑන්ස් කඩා වැටීමට මහ බැංකුව වගකිව යුතුයි – අගමැති මහින්ද

ද ෆිනෑන්ස් කඩා වැටීමට මහ බැංකුව වගකිව යුතුයි – අගමැති මහින්ද

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වූ මූල්‍ය ආයතනයක් ලෙස ද ෆිනෑන්ස් සමාගමේ සිදුව ඇති අර්බුදය සම්බන්ධයෙන් මහ බැංකුව වගකීම භාරගත යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය මැයි 22 වැනිදා සිට මහ බැංකුව මගින් බලපත්‍රය අහෝසි කෙරුණු ද ෆිනෑන්ස් සමාගමේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඊයේ දිනයේදී අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ කරුණු අවධාරණය කර තිබේ.

“මහ බැංකුවේ වගකීම මීට වඩා වෙනස් විය යුතුයි කියන දේයි මගේ විශ්වාසය. මහ බැංකුව වුණත් ද ෆිනෑන්ස් සමාගම තමන් යටතේ අධීක්ෂණය වෙනවා, තැන්පතු භාර ගැනීමේ වගකීම දරනවා කියලා දැන්වීම් පළ කරලා තියෙනවා.”  අගමැතිවරයා පවසා ඇත.

මෙලෙස බලපත්‍රය අහෝසි කිරීමෙන් අනතුරුව ද ෆිනෑන්ස් සමාගමේ සමස්ත තැන්පත් කරුවන්ගෙන් 93%කට ආසන්න පිරිසකට මුදල් ගෙවීමට කටයුතු යොදන බව මහ බැංකුව සඳහන් කර තිබේ. ඉතිරි තැන්පත්කරුවන් 7%ට මුදලින් කොටසක් වශයෙන් ලැබෙන බවත් මහ බැංකුව පවසයි. අද වනවිට සමාගම සතු සමස්ත තැන්පත් කරුවන් සංඛ්‍යාව 145,172 කි. මෙම වන්දි ගෙවීම පිළිබඳව ඉදිරියේදී නිවේදනය කරන බවත මහ බැංකුව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මහ බැංකුව යටතේ පවතින මූල්‍ය ආයතන දිගින් දිගටම කඩා වැටීම සහ එවැනි මූල්‍ය ආයතන තුළ සිදුවන අක්‍රමිකතා නිසා රජය අප්‍රසාදයට පත්ව ඇතැයිද අගමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

මේ හරහා රාජ්‍ය මූල්‍ය ආයතන සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසයද පළුදු වී ඇති බවත්, අලුතින් නීති සකස් කර හෝ මෙවැනි මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බවත් අගමැතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

“අපිට නීති හදන්න වේවි. අනාගතයේදීත් මෙවැනි තත්ත්වයක් ආවොත් එවැනි අවස්ථාවකදී මහ බැංකුවේ වගකීම මොකක්ද වෙන්නේ. මෙවැනි දේවලට දිගින් දිගටම ඉඩදුන්නොත් එය සමාජයටම ලොකු ප්‍රශ්නයක්. මහ බැංකුව ගැන තියෙන විශ්වාසයත් පළුදු වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඔක්කොම වැටෙනවා. ඒක රටේ ආර්ථිකයටත් විශාල වශයෙන් බලපානවා. ඒ නිසා අලුතින් නීති දාලා හරි වැඩපිළිවෙලක් හදන්න වෙනවා.” අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, අගමැති ලේකම් ගාමිණී සෙනරත්, යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

මේ අතර සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා ද ෆිනෑන්ස් ආයතනය මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පැවතියත්, එය පාලනය වූයේ ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ බවත්, සමාගම වෙනත් ආයෝජකයෙකු වෙත පවරා දීමේ අවස්ථාවක් පවතින බවත්ය.

රජයේ අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ රමේෂ් පතිරණ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වී ඇත. අර්බුදයට ලක්ව ඇති ද ෆිනෑන්ස් සමාගම සහ ඊ.ටී.අයි. සමාගම ඇතුළු අනෙකුත් මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් රජය මේ සතියේදී සාකච්ඡා කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය සතියේදී පවසා තිබුණි.

Visits: 371