පසුගිය රජය පත් කළ මුදල් මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

පසුගිය රජය පත් කළ මුදල් මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

පැවැති යහපාලන රජය සමයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කර තිබූ නිහාල් ෆොන්සේකා මහතා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය මැයි 31 වැනිදා සිට සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

ඒ අතරින් නිහාල් ෆොන්සේකා මහතා කොළඹ කොටස් වෙළෙඳ පොළ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ හිටපු බැංකුකරුවෙකි. එසේම ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වර්තමාන විධායක අධ්‍යක්ෂිකාව ලෙසත් කටයුතු කරයි.

ෆොන්සේකා මහතා 2016 ජූලි මාසයේදීද, වීරකෝන් මහත්මිය 2019 ජූලි මාසයේදීද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් බවට පත් කෙරිණි. මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අනුව ජනාධිපතිවරයා විසින් මුදල් මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම සිදු කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමනාකරණ, මෙහෙයුම් සහ පරිපාලන කටයුතු පිළිබඳව සියලුම ප්‍රතිපත්ති තීරණ ගනු ලබන්නේ මෙම මුදල් මණ්ඩලය මගිනි. එහි සභාපතිවරයා වන්නේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතායි. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වන එස්.ආර්. ආටිගල මහතාද එහි තවත් සාමාජිකයෙකු වෙයි.

මෙහිදී මහ බැංකු අධිපතිවරයා ඇතුළුව විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ධුර කාලය වසර හයක් වන අතර, එම කාලය තුළදී ඔවුන් ඉවත් කිරීම සිදු කළ නොහැකිය. ඒ වෙනුවට ඔවුන් ඉල්ලා අස්වීම පමණක් සිදු  විය යුතුය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ  පාලන කායය නැවත සකස් කිරීමේ අරමුණින් රජය සිදුකළ ඉල්ලීමක් අනුව ඔවුන් දෙදෙනා මෙලෙස සිය සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

Views: 25