ලක්ෂ්මන් අබේසේකර සණස සංවර්ධන බැංකු සභාපති ධුරයට

ලක්ෂ්මන් අබේසේකර සණස සංවර්ධන බැංකු සභාපති ධුරයට

සණස සංවර්ධන බැංකුවේ නව සභාපති ධුරය සඳහා එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ලක්ෂ්මන් අබේසේකර මහතා පත් කර ඇතැයි එම බැංකුව පවසයි. වසර නවයක කාලයක් බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ සමාදනි කිරිවන්දෙනිය මහත්මිය පසුගියදා එම ධුරයෙන් විශ්‍රාම යෑමත් සමගම අබේසේකර මහතා මෙම ධුරය සඳහා පත් කෙරී තිබේ.

මැයි 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුව තිබේ. සභාපති ධුරයට පත්වන අවස්ථාව වන විට ලක්ෂ්මන් අබේසේකර මහතා බැංකුවෙහි කිසිදු කොටසකට හිමිකම් නොකියන බවත් සණස සංවර්ධන බැංකුව සඳහන් කරයි.

ඒ මහතා සණස සංවර්ධන බැංකුවෙහි විගණන කමිටුවේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කර තිබේ. ගතවුණු කාලය තුළදී සණස සංවර්ධන බැංකුවේ වර්ධනය සඳහා ඔහු ඉහළ දායකත්වයක් ලබාදුන් බවත් බැංකුව පවසයි. අබේසේකර මහතා සතුව ගණකාධිකරණය, මූල්‍ය සහ කළමනාකරණය පිළිබඳ වසර 30කට අධික අත්තැකීම් සපිරි බවත්, එම අත්දැකීම් යොදා ගනිමින් ඔහු නව සභාපති ධුරයේ කටයුතු කරනු ඇතැයිද සඳහන් වෙයි.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් එම්.බී.ඒ. උපාධිය හිමි කරගෙන ඇති අබේසේකර මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. එසේම AAT ආයතනයේ සාමාජිකයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබේ.

සිය දශක තුනක සේවා කාලය තුළදී අබේසේකර මහතා Emerchemie NB (Ceylon) ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙසත්, ලංකෙම් සිලෝන් පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරිවරයා ලෙසත්, Hoechst (Ceylon) හි ගණකාධිකාරිවරයා ලෙසත්, පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත, ජැන්රිච් ෆුඩ්ස් ලිමිටඩ් සමාගමේ සහ NovEx Pharmaceuticals හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

Views: 31