“අපේ රටේ වසංගතය හොඳ වුණා කියලා සංචාරක කර්මාන්තය යළි හරියන්නේ නැහැ”

“අපේ රටේ වසංගතය හොඳ වුණා කියලා සංචාරක කර්මාන්තය යළි හරියන්නේ නැහැ” – ශ්‍රී ලංකා හෝටල් සංගමයේ හිටපු සභාපති ශ්‍රීලාල් මිත්තපාල

“මේ කොවිඩ් අර්බුදය රට ඇතුළේ අර්බුදයක් නම් අපිට පුළුවන් ඒක විසඳලා මේ සංචාරක කර්මාන්තය යළි අරඹන්න. හැබැයි මේක ගෝලීය වසංගත තත්ත්වයක්. ඒ නිසා රටේ වසංගතය හොඳ වුණා කියලා සංචාරක කර්මාන්තය යළිත් තිබුණු තැනට පත්කරන්න බැහැ. ඒකට මුළු ලෝකයේම වසංගත තත්ත්වය නිමාවකට පත්වෙන්න වුවමනාමයි.”

එලෙස පවසන්නේ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (The Hotels Association of Sri Lanka – THASL) හිටපු සභාපතිවරයෙකු වන ශ්‍රීලාල් මිත්තපාල මහතායි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති ගෝලීය සංචාරක කර්මාන්තය සහ මෙරට සංචාරක කර්මාන්තයේ හෙට දවස පිළිබඳව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ අප සිදුකළ විමසීමකදී ඔහු මේ අදහස් පළ කළේය.

මෙම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දරුණු බලපෑමට ලක් වූ කර්මාන්ත අතරින් ප්‍රධාන තැන මෙම සංචාරක කර්මාන්තය වෙත එල්ල වී ඇති බව නොරහසකි. ලෝක සංචාරක සංවිධානය (UNWTO) සිදුකර ඇති ඇස්තමේන්තුවකට අනුව 2020 පළමු කාර්තුව තුළ සිදුව ඇති සංචාරක කර්මාන්තයේ පසුබැසීම 22% කි. එසේම පසුගිය මාර්තුවේදී පමණක් ජාත්‍යන්තර සංචාරක පැමිණීම් 57%කින් පහළ බැස ඇත. ඒ අනුව මෙම කඩා වැටීම ජාත්‍යන්තර සංචාරක පැමිණීම් මිලියන 67ක් ලෙස ගණන් බලා ඇති අතර එහි අලාභය එක්සත් ජනපද ඩොලර් බිලියන 80කි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව පසුගිය මාර්ගු මාසයේදී ශ්‍රී ලංකාව වෙත පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 71,370 කි. එය පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් 244,328 හා සාපේක්ෂව 70.8%ක කඩා වැටීමකි. එසේම අප්‍රේල් මාසයේදී මෙරට සංචාරක පැමිණීම් ‘0’ ක් බවටත් පත්විය. ඒ අනුව මේ වසර තුළ මෙරට සංචාරක කර්මාන්තයේ අනාගතය දරුණු අවදානමකටද ලක්ව තිබේ.

“මේ තත්ත්වය ඉතාමත් දරුණුයි. සංචාරක කර්මාන්තය තමයි මේ රටේ ප්‍රධානම විදේශ විනිමය උපයන මාර්ගය බවට පත්වෙන්න තිබුණේ. බොහෝ පිරිසක් එයින් යැපුණා. ඒත් කවුරුත් බලාපොරොත්තු නොවූ විදියට මේ කොවිඩ්-19 වසංගතය ඒ බලාපොරොත්තු බිඳ දාලා. සංචාරක හෝටල් හිමිකරුවන් වගේම සංචාරක ක්ෂේත්‍රයේ සේවා සම්පාදනය කළ සෑම දෙනෙක්ම අද ආර්ථික අර්බුදයකට ලක්වෙලා.”

ලෝක සංචාරක සංවිධානය පවසන ආකාරයට ඉදිරියේදී ලොව රටවල් සිය දේශසීමා විවෘත කර ගුවන් ගමන් යළිත් පෙර පරිදි ආරම්භවීමෙන් අනතුරුව උදාවන කාලසීමාවේදී ඇතිවිය හැකි තත්ත්වයන්හි වඩාත් යහපත්ම අවස්ථාවේදී වුවද ලබන දෙසැම්බර් මාසය වනවිට යළිත් උදාකර ගත හැක්කේ  20%ක් දක්වා වූ වර්ධනයක්  පමණකි.

මෙලෙස යම් හේතුවකින් ඉදිරි මාස කිහිපයේදී මෙරට තුළ මෙන්ම ලොව තුළත් කොවිඩ්-19 වසංගත තත්ත්වය පහව ගොස්, පෙර පැවැති තත්ත්වයට යළි ලෝකය පත්වීමක් සිදුවුවත්, ඊට පසුවද මේ සංචංරක කර්මාන්තය තිරසාරව පවත්වාගෙන සම්බන්ධයෙන් සැලකිය යුතු තවත් කාරණා රැසක්ම තිබෙන බවත් මිත්තපාල මහතා මෙහිදී සඳහන් කරයි.

“තවමත් ලෝකයේ ගුවන් සේවා බොහෝමයක්ම මෙහෙයුම් අත්හිටුවලා තියෙන්නේ. අපේ රටට සංචාරකයෝ එන රටවල නීති රීති තියෙනවා. උදාහරණයක් විදියට අපේ රටට ගොඩක් සංචාරකයෝ ආපු ඔස්ට්‍රේලියාව දැන් කියනවා මේ අවුරුද්ද ඉවර වෙනකම් රටින් කාටවත් එළියට යන්න බෑ කියලා. රටින් ගියොත් ආයිත් එන්නත් බෑලු.

කොහොම හරි මේ සියලු සීමා ඉවත් කරලා ලෝකයේ ඕනෑම රටකට යන්න දුන්නා කියමු. මේ විදියට සංචාරයේ යෙදෙන්නත් මිනිස්සු අතර සල්ලි තියෙන්න ඕනේ. ලෝකයේම අද ආර්ථික ප්‍රශ්න තියෙනවා. හුඟ දෙනෙක්ට රස්සාවල් නෑ. තවත් පිරිසකගේ වැටුප් කපලා. මෑතකදී කරපු පාරිභෝගික වියදම් පිළිබඳ කළ සමීක්ෂණය අනිත්ම කාරණාව විදියට තමයි ජාත්‍යන්තර සංචරණය තියෙන්නේ. දැනට ජනතාව බලන්නේ කෑම බීම වැනි අත්‍යවශ්‍ය දේවල් ගැන විතරයි.” මිත්තපාල මහතා පවසයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරිය (ICAO) පසුගිය අප්‍රේල් 20 වැනිදා නිකුත් කළ වාර්තාවකට අනුව මෙම 2020 වසර තුළදී ගුවන් සේවා සමාගම් වෙත සිදු වන දළ මෙහෙයුම් ආදායමේ අහිමිවීම එක්සත් ජනපද ඩොලර් බිලියන 238 සිට 418ක් අතර අගයක් ගනී. මෙම බලපෑමත් වසංගතය තවත් කොපමණ කාලයක් පවතීද, එහි බලපෑමේ ප්‍රමාණය මෙන්ම ජනතාව ගුවන් ගමන් සඳහා තෘප්තිමත් තත්ත්වයට පත්වීම හා ඔවුන්ගේ ආර්ථික තත්ත්වත් බලපාන බවද මෙම වාර්තා පෙන්වා දී තිබේ.

“අපි හිතමු සල්ලි නැති කට්ටිය ආවේ නෑ කියලා, සල්ලි තියෙන කට්ටියකුත් ලෝකේ ඉන්නවානේ. ඒ අය මේ සීමා ඉවත් කළාට පස්සේ අපේ රටට එන්න පුළුවන්. හැබැයි ඒ එන රටේදී වගේම, ලංකාවෙදිත් ඒ සංචාරකයන්ට බොහෝ සෞඛ්‍ය ආරක්ෂක නීතිරීතිවලට යටත් වෙන්න සිදු වේවි. කලින් සිදු කළ පරීක්ෂා කිරීම්වලට වඩා වැඩි, සංකීර්ණ පරීක්ෂා කිරීම්වලට ලක්වෙන්නත් ඔවුන්ට සිදු වෙනවා.

දැනට තියෙන සැලසුමේ විදියට ලංකාව සංචාරක කර්මාන්තය සඳහා විවෘත කිරීමත් සමගම ගුවන් තොටුපොළ තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කරලා එහි වෛද්‍යවරුන් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මේ කොවිඩ්19 පරීක්ෂාවට යොදවන්නත් සැලසුම් කෙරිලා තියෙන්නේ. මොකද මේ පරීක්ෂාවලින් මඟහැරිලා කවුරුහරි ලංකාවට මේ වෛරසය ආයිත් බෝ කළොත්, අපිට තව වටේකට වැඩ වරදිනවා.” මිත්තපාල මහතා පවසයි.

මේ අතර, ගුවන් සමාගම්වල තත්ත්වය සලකා බැලීමේදී ඉදිරි කාලසීමාව තුළ බොහෝ ගුවන් සේවා සිය ගුවන් යානා තුළ දුරස්තභාවය ආරක්ෂා කිරීම සඳහා ආසන සංඛ්‍යාවෙන් භාගයක මගීන් පිරිසක් රැගෙන ඒමේ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇත. එහෙත් එය ගුවන් සමාගම් වෙත එල්ල වන මෙහෙයුම් අලාභයක් වන අතර, එහි ප්‍රතිඵලය වන්නේ ගුවන් සේවා මගින් අය කරන ටිකට් මුදල ඉහළ යාමයි.

“මේ විදියට අධික මුදලක් වියදම් කරලා හරි පැමිණෙන සංචාරකයන් ලෝකේ ඉන්න පුළුවන්. මම කියන්නේ ව්‍යාපාරික මට්ටමේ අය නෙමෙයි, විනෝදය සඳහා එන පිරිස. ඒ අය මෙහෙට ඇවිල්ලා නවාතැන් ගන්න හෝටල් අපිට පෙරට වඩා වැඩි ආරක්ෂා සහිත ආකාරයට සකසන්න වෙනවා. එතැනදී සංචාරක සංවර්ධන අධිකාරිය සැලසුම් කරලා තියෙනවා මේ සෞඛ්‍ය ආරක්ෂාව හොඳට පවත්වාගෙන යන හෝටල්වලට සහතිකයක් ලබා දීලා සංචාරකයන්ට ඒවා නිර්දේශ කරන්න.

හැබැයි මේ ලබා දෙන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පිළිපදින්න කලින්ට වඩා වැඩියෙන් මහන්සිවෙන්න ඒ හෝටල් හිමිකරුවන්ට සිද්ධ වෙනවා. ඒකට වැඩි සේවක පිරිසක් යොදවන්න වෙනවා. වැඩි කාලයක් කැප කරන්න වෙනවා. ඒ සියල්ලගේම අවසානය වෙන්නේ හෝටලේ ගාස්තුව වැඩි වෙන එකයි.”

මෙලෙස කොවිඩ්-19 නිසා ආර්ථික හානි සිදු නොවුණු, අතේ යහමින් සල්ලි ගැවසෙන, වැඩි මුදලකට ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමේ හැකියාව ඇති, වැඩි අය කිරීමක් තිබෙන හෝටලයකට පැමිණෙන සංචාරකයන්ද ලොව පුරා සිටිය හැකි බව අපට විශ්වාස කළ හැකිය. එහෙත් ඔවුන්ට අපේ රටේදී වෙනදා මෙන් නිදහසේ ඉන්න ලැබේවිද යන්න ගැටලුවක් බවද මිත්තපාල මහතා මෙහිදී පෙන්වා දෙයි.

“ඇයි මම එහෙම කියන්නේ…. මොකද සාමාන්‍ය සංචාරකයෙක් එන්නේ දින 10ක් විතර රටේ ඉදලා පරිසරය විදලා, විනෝද වෙලා, හැමෝමත් එක්කම කතා කරලා සතුටින් ඉන්නනේ. ඒත් දැන් ඒ සියල්ලම සීමා වෙනවා. ලිෆ්ට්වල යන කොට පරිස්සමෙන් යන්න වෙනවා. පිහිණුම් තටාක පාවිච්චිය නවත්වන්න වෙනවා.

මේ කරුණු සියල්ලමත් එක්ක බැලුවහම මගේ අදහස වෙන්නේ සංචාරක කර්මාන්තය කියන එක ආයිත් සැරයක්  රට තුළ ආරම්භ කරලා පවත්වාගෙන යන එක ඒ තරම්ම ලේසි වෙන්නේ නැහැ. මොකද කලින් ආවා වගේ සංචාරකයන් ප්‍රමාණයක් ඒවි කියලා බලාපොරොත්තු තියාගන්නත් බැහැ. හෝටල් කාමර ගත්තත් ඒවායින් 10% ක් 15% ක් විතරක් වගේ පිරේවි.

ඒ නිසා මගේ අදහස වෙන්නේ රටේ තිබුණු මේ සංචාරක කර්මාන්තය ආයිත් ඒ විදියටම පටන් ගන්න නම් මේ කොරෝනා වෛරසයට මොකක් හරි එන්නතක් සොයා ගන්නම වෙනවා. එහෙම නැතුව මේ කර්මාන්තය නොන්ඩි ගගහා යයි. හැබැයි ඒ ගමනත් එතරම් දුරකට යන්න බැරි වේවි.”

රටේ අනික් කර්මාන්තවලට ඉදිරි කාලසීමාවේදී ඉක්මණින්ම පෙර සිටිය තත්ත්වයටම එන්න හැකි වුවත්, සංචාරක කර්මාන්තයට එසේ නොහැකි බව මේ කාරණාවලින්ම පැහැදිලි වන බවද මිත්තපාල මහතා අවධාරණය කරයි.

දැනට පවතින මේ සීමා කිරීම් සියල්ලම සංචාරක කර්මාන්තයේ මූලික කාරණාවලට පටහැනිවීම ඊට හේතුවී තිබේ. සාමාන්‍යයෙන් සංචාරක කර්මාන්තය යනු එය කඩා වැටෙන වේගයෙන්ම යළිත් නැගිටී මට හැකි ව්‍යාපාරයකි. පසුගිය වසරේ අප්‍රේල් එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු එය හොඳින් ඔප්පු වී ඇත.

මේ අතර කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි ගොඩනැගීම සඳහා රජය ලබා දීමට කටයුතු කළ සහනද මෙතෙක් සිය කර්මාන්තය වෙත කියන පමාවෙන් ලැබී නොමැති බවද මිත්තපාල මහතා සඳහන් කරයි.

“ආණ්ඩුවේ සහන ගත්තත් තවමත් හෝටල්වලට හරි හැටි ආකාරයෙන් එය ලැබිලා නැහැ. එතැනදී අත්‍යවශ්‍ය දේ සඳහා වියදම් කිරීමට මාස දෙකකට තමයි ඒ මුදල් දෙන්නේ. හැබැයි ආණ්ඩුව නියම කළාට බැංකුවලින් ඒ සහන ලබාදීම අදිමදි කිරීමක් තමයි තියෙන්නේ. හෝටල් වැඩි ප්‍රමාණයකට ඒක ලැබිලා නෑ. දැන් ඒ මාස දෙකත් ඉවරයි.

දැන් අපි ඉල්ලලා තිනෙවා මාස හයකට සහනයක්, සේවක වැටුප් විතරක් ගෙවන්න. රුපියල් 40,000 කට වඩා අඩු වැටුපක් ගන්න අයට සහාය වීමක් විදියට තමයි ඒ මුදල ඉල්ලලා තියෙන්නේ. ඊට වඩා වැඩි වැටුප් ගන්න අයව අපි බලාගන්නම් කියලා.

ඒ වගෙම තමයි, මෙතැනදී රජයත් හොඳ යෝජනාවක් ගෙනාවා ස්ථිර සේවකයන්ගේ වැටුප යම් ප්‍රමාණයකින් අඩු කරලා දෙන්න හැකි ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා. සාමාන්‍ය කම්කරු නීතියේ හැටියට ස්ථිර සේවකයන්ගේ නියමිත වැටුප ගෙවිය යුතු කියන දේ. හැබැයි මේ තීරණය නිසා ඒ සේවකයාගේ රැකියාව අහිමිවීමකින් තොරව වැටුපෙන් අඩක් ගෙවලා ඔහු හෝ ඇයගේ රැකියාව සුරක්ෂිත කරන්න හෝටල් වෙත අවස්ථාව ලැබී තිබෙනවා.”

මේ අතර පවතින වාර්තාවලට අනුව රටේ එක්තරා ප්‍රසිද්ධ හෝටල් සමූහයක් සිය හෝටල් වසා දැමීම නිසා එක් මාසයක පමණක් ඔවුන් ලබන පාඩුව රුපියල්  මිලියන 90ක් බවට ගණන් බලා තිබේ. “සංචාරකයෝ එන්නේ නෑ කියලා මේ හෝටල් වහලා තියන්න බැහැ. පූල් එක, එහි පොම්ප, වායුසමීකරණ යන්ත්‍ර ඇතුළු අනෙකුත් වටිනා කියන දේවල් සියල්ලම හොඳින් නඩත්තු වෙන්න ඕනේ.” මිත්තපාල මහතා පවසයි.

මේ අතර, පසුගිය වසර කිහිපයේදී මෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුවද ඉහළ නැගෙමින් පැවැති සංචාරක කර්මාන්තය හේතුවෙන් රට පුරා අලුතින් හෝටල් 200කට අධික සංඛ්‍යාවක් ඉදි කෙරෙමින් පවතින බවත්, මෙම අසීරු අවස්ථාවේදී ඒවාද කර්මාන්තය වෙත එකතුවීම ගැටලුව තවත් උග්‍ර කරවන බවත් ඔහුගේ අදහස වී තිබේ.

“අලුතින් රට පුරා හෝටල් 200 ගණනක් හැදෙන්න අනුමත වෙලා තිබෙනවා. ඒ ව්‍යාපෘතිවල කාමර 19,000 ක් විතර තියෙනවා. ගොඩක් හෝටල්වල වැඩ භාගයක් විතර ඉවරයි. තවත් කිහිපයක් තියෙනවා වැඩ අවසන් වෙලා මෙහෙයුම් ආරම්භ කරන්න සූදානමින් ඉන්න. ඒවා විවෘත කිරීම පසුගිහිල්ලා තියෙන්නේ මේ කොවිඩ්-19 නිසා. හැබැයි තියෙන තත්ත්වය අනුව මේ අලුත් හෝටල්වල ඉදිරි පියවර ගැන අපිට හරියටම බලාගන්න වෙනවා. මොකද මේ අසීරු අවස්ථාවේදී රටට තවත් හෝටල් කාමර ආවොත් ප්‍රශ්නය තවත් දරුණු වෙනවා.”

කෙසේ වෙතත් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම්වලට පෙර දේශීය සංචාරකයන් හරහා සිය හෝටල් රැකගැනීමට හෝටල් හිමියන් මේ මොහොතේදී කල්පනා කරගෙන සිටින බවත් නොරහසකි.

“මේ කොවිඩ්-19 තත්ත්වය හොඳ වුණත් විදේශ සංචාරකයන්ගේ පැමිණීම/නොපැමිණීම ගැන විශ්වාසයක් තියන්න බැහැ. හැබැයි අපි බලන්නේ ඒ කාලසීමාවේදී දේශීය සංචාරකයන් වැඩියෙන් මේ හෝටල් වෙත ගෙන්වා ගන්නයි. ඒක අපිට විතරක් නෙමෙයි මෙවැනි අර්බුදයකින් පස්සේ ලෝකයේම සංචාරක හෝටල්වලට පොදු දෙයක්. තමන්ගේ වාහනේකින් දවසකින් ගිහිල්ලා එන්න පුළුවන් තැනක්, කෝච්චියෙන් ගිහිල්ලා එන්න පුළුවන් තැනකට තමයි මේ සංචාරකයන් මුලින්ම යොමු වෙන්නේ. ගුවන් ගමන් සංචරණය තියෙන්නේ ලැයිස්තුවේ අන්තිමට.”

එහිදී හෝටල් හිමිකරුවන් ලෙස වැඩසටහන් කිහිපයක්ම සකස් කරගෙන යමින් සිටින බවත් මිත්තපාල මහතා මෙහිදී සඳහන් කරයි. එහිදී දේශීය සංචාරකයන්ට ඉතා හොඳ වට්ටම් මිලකට එම සේවා ලබා දීමේ යෝජනාවක්ද පවතී. එහෙත් ඇතැම් හෝටල් හිමිකරුවන් ඊට විරෝධයද පළ කර ඇත. පැමිණෙන සංචාරකයා දේශීය විදේශීය වේවා අලුතින් හඳුන්වාදී ඇති සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද පිළිපැදිය යුතු නිසා කලින්ට වඩා වැඩියෙන් හෝටලය පවත්වාගෙන යාමට මුදල් වියදම් වීම ඊට හේතුව වී තිබේ.

“ලංකාවේ අයත් දැන් මාස දෙකකට වැඩි කාලයක් ගෙවල්වලට හිරවෙලා ඉදලා කොහේ හරි සංචාරයක යන්න බලාගෙනයි ඉන්නේ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න රටේ හෝටල් ක්‍රියාත්මක වීමයි වැදගත් වෙන්නේ. හැබැයි එතැනදී දැනට රටේ තියෙන වැටුප් කප්පාදුව වුණත් යම් බලපෑමක් එල්ල කරාවි. ඒ නිසා තමයි යම් වට්ටම් මුදලක් ගැන යෝජනාවක් ඇවිල්ලා තියෙන්නේ.”

මේ අතර, සංචාරකයන් ආකර්ෂණය සඳහා තවත් පිළියමක් ලෙස ඉදිරියේදී හෝටල් මේ සංචාරකයන් සඳහා පැකේජ් ක්‍රමයක් හඳුන්වා දීමටත් බලාපොරොත්තු තබා ගෙන ඇතැයිද මිත්තපාල මහතා සඳහන් කරයි. ඒ අතරින් සංචාරකයන්ට ප්‍රවාහන සේවා සැලසීමේ යෝජනාව එක් අවස්ථාවන්.

“උදාහරණ විදියට කිව්වොත් බේරුවල තියන හෝටල් කිහිපයක් එකතු වෙලා සති අන්තයේදී බස් එකක් දානවා ඒ හෝටල්වලට එන දේශීය සංචාරකයන්ට. එතකොට සංචාරකයන්ට තමන්ගේ වාහකයකින් එන්නේ නැතුව හෝටලය මගින් යෙදවෙන බස් රථයේ නැගිලා ඒ හෝටලයට ඇවිල්ලා සති අන්තය ගත කරන්න පුළුවන්. ඒ බස් රථයේම නිවෙසට යන්නත් පුළුවන්. එතැනදී බස් රථයේ ගාස්තුව හෝටලයේ අය කිරීමට එකතු කෙරෙනවා.”

මෙරට තුළ දේශීය සංචාරක කර්මාන්තය මෙන්ම විදේශීය සංචාරක කර්මාන්තයත් හැකි ඉක්මණින්ම යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා මෙවැනි තවත් වැඩසටහන් රැසක්ම ගෙන ඒමට සංචාරක හෝටල් කර්මාන්තයේ යෙදෙන පිරිස් අදහස් කරගෙන සිටින බවද මිත්තපාල මහතා මෙහිදී සඳහන් කළේය. ඒ හරහා මෙරට විදේශ විනිමය ඉපැයීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ සංචාරක කර්මාන්තය පවතින බාධා මධ්‍යයේ වුවද යළිත් එම තත්ත්වයට ඔසවා තැබීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

Hits: 12