IOC ඔක්ටේන් 92 පෙට්‍රල් යළි රුපියල් 137ක් වෙයි

IOC ඔක්ටේන් 92 පෙට්‍රල් යළි රුපියල් 137ක් වෙයි

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 142 දක්වා රුපියල් 5 කින් වැඩි කළ තීරණය ඉවත් කරගැනීමට කටයුතු යොදා ඇතැයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම රුපියල් 5 අඩු කර යළිත් පෙර පැවැති රුපියල් 137 මුදලටම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කරයි.

සමාගම සඳහන් කරන ආකාරයට කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව ජනතාව මුහුණ දී ඇති පෙරනොවූ විරූ තත්ත්වයන් සහ අභියෝගාත්මක අවස්ථාවන් සලකා බලා ඊට දක්වන දායකත්වයක් ලෙස මෙම මිල ගණන් ඉහළ නැංවීම ඉවත් කරගැනීමට තීරණය කෙරී ඇත. විශේෂයෙන්ම කඩා වැටුණු ආර්ථිකය යළි නැගී සිටිමින් පවතින අවස්ථාවට දක්වන සහයෝගයක් ලෙස මෙම තීරණය ගන්නා බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසයි.

“ආනයන බදු ඉහළ දැමීමත් සමගින්ම අපගේ පෙට්‍රල් අලෙවිය සඳහා සිදුව ඇති අලාභය දරා ගැනීමට අපි මෙතැනදී තීරණය කළා. මාර්තු මාසයේදී රටෙහි මෙහෙයුම්හි සිදුවූ පසුබැසීම නිසා අපගේ ඉන්ධන වෙළෙඳ පොළ කඩා වැටුණා. මේ වසරේ ජනවාරි සහ මාර්තු කාර්තුව තුළදී සමාගම ලැබූ අලාභය රුපියල් මිලියන 346ක්” සමාගම පවසයි.

සමාගම පසුගිය සඳුදා ගත් මෙම ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළ නැංවීමේ තීරණයත් සමගම ලංකා අයිඕසී ඉන්ධන පිරවුම්හල් හිමියෝ දැඩි අර්බුදයට ලක් වූ බව වාර්තා විය.

පසුගිය පෙබරවාරි මාසයේදී ඔවුන් එම පිරවුම්හල්වල ඉන්ධන මිල රජයට අයත් සිපෙට්කෝ හි ඉන්ධන මිල හා සමාන කරන ලෙස දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය අප්‍රේල් මාසයේදී සමාගම එම පෙට්‍රල් ලීටරයක මිල 137ක් බවට පත් කර තිබුණි.

කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පැනවූ ලොක්ඩවුන් සීමා ලිහිල් කරමින් යළිත් වරක් රට විවෘත කෙරෙන අවස්ථාවේදී මෙලෙස ඉන්ධන මිල වැඩි කිරීම සිය අලෙවි කටයුතු වෙත බලපෑමක් බවද ඔවුන් එහිදී සඳහන් කර තිබුණි.

Visits: 13