ලොව පුරා හෝටල් වැසීමෙන් නෙස්ලේ පිටි කළ පොල්කිරි අපනයනය අඩු වෙලා

ලොව පුරා හෝටල් වැසීමෙන් නෙස්ලේ පිටි කළ පොල්කිරි අපනයනය අඩු වෙලා

කොවිඩ්-19 වසංගතයේ ලෝක ව්‍යාප්තියත් සමග රටවල් බොහෝමයක් ලොක්ඩවුන් සීමා පැනවීම හේතුවෙන් එම රටවල පිහිටි හෝටල් සහ ආපනශාලා වසා දැමීම සිය පිටි කළ පොල්කිරි අපනයනයේ අඩුවීමක් සඳහා දැඩි ලෙස බලපා තිබෙන බව නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම පවසයි.

එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත යැවූ ලිපියක මේ කරුණු සඳහන් කර තිබේ. මේ තත්ත්වයත් සමග සිය සමාගමේ මුදල් තත්ත්වය වෙත සිදුව ඇති බලපෑම පාලනය සඳහා ක්‍රියාමාර්ග කිහිපයක්ම දැනටමත් ගෙන ඇතැයිද නෙස්ලේ ලංකා සමාගම සඳහන් කරයි.

නෙස්ලේ සමාගම සිය ‘මැගී’ සන්නාමය යටතේ මෙම පිටි කළ පොල් කිරි මෙරට වෙළෙඳ පොළට මෙන්ම අපනයන වෙළෙඳ පොළටද අලෙවි කරයි. 2018 වසරේදී ඔවුන් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලංකාවේ ඉහළම විදේශ විනිමය උපයන්නා සම්මානයද හිමි කර ගෙන තිබේ.

මෙම වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත සිදුව ඇති බලපෑම සඳහන් කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙතින් සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම විසින් මෙම ලිපිය කොළඹ කොටස් වෙළෙඳ පොළ යොමු කර තිබේ.

ඒ අනුව ඉදිරියටත් සිය මුදල් රැක ගැනීම මූලික ප්‍රමුඛතාව වන බවත්, එහෙත් ඉදිරි මෙහෙයුම් හොඳින් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් සමාගම සතුව පවතින බවත් ඔවුන් මෙහිදී සඳහන් කර තිබේ.  

“වසංගතයේ බලපෑමත් සමග එල්ල වූ තත්ත්වය නිසා සමාගම මේ වනවිටත් අත්‍යවශ්‍ය නොවන වියදම් සියල්ල යම් කාලසීමාවක් සඳහා කපා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම ඇතැම් ප්‍රාග්ධන වියදම් තාවකාලිකව අත්හිටුවීමටත් තීරණය කරලා.”

එම සමාගම පවසන ආකාරයට ඔවුන් පසුගිය මාර්තු මාසයේ මුල් කාලයේ සිටම මෙම කොවිඩ්-19 වසංගත තත්ත්වය සඳහා මුහුණදීමට සූදානම්ව සිට ඇත. කෙසේ වෙතත් රට තුළ පැනවූ ලොක්ඩවුන් සීමා හේතුවෙන් සිය මෙහෙයුම් සම්පූර්ණ ධාරිතාවෙන් සිදු කිරිමට නොහැකි වූ බවත්, ඒ සමගම කඩසාප්පුද වසා දමා තිබීම නිසා සිය අලෙවි මෙහෙයුම් වෙත බාදා එල්ල වූ බවත් නෙස්ලේ ලංකා පීඑල්සී පවසයි.

“කොහොම වුණත් අපි මෙම අවස්ථාවේදී අපේ ගනුදෙනුකරුවන්ගේ අත්‍යවශ්‍ය ආහාර සහ පාන වර්ග වල අවශ්‍යතාවන් හැකි පමණින් සම්පූර්ණ කිරීම සඳහා උපරිම සෞඛ්‍ය සහ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අපේ නිෂ්පාදන කටයුතු සිදු කළා.” සමාගම කොටස් වෙළෙඳපොළ වෙත සඳහන් කර තිබේ.

මේ අතර, කොවිඩ්-19 වසංගත තත්ත්වය රට තුළ ව්‍යාප්තවීමත් සමගම ඊට එරෙහි සටනේ ඉදිරිපෙළ සිටින පිරිස් වෙත සහ වසංගතයෙන් බලපෑමට පත් වූ පිරිස් වෙත රුපියල් මිලියන 50ක් පමණ වටිනා අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදන බෙදා හැරිමක්ද සිදු කළ බව නෙස්ලේ ලංකා පීඑල්සී පවසයි.

“අපේ මූලික අවධානය වෙන්නේ පාරිභෝගිකයන් වෙත හැකි උපරිම ආකාරයෙන් අපගේ නිෂ්පාදන ලබා දීමයි.  ඒ අතරම මේ අසීරු කාලසීමාවේදී කිසිදු ආකාරයක ව්‍යාපාරම වටිනාකමක් එකතු නොවන සියලු වියදම් අපි අඩු කරනවා.” සමාගම අවසන් වශයෙන් සඳහන් කර තිබේ.

එහිදී සිය කළමනාකාරීත්වය මෙම වියදම් පාලනය කිරීම් පිළිබඳව දිගින් දිගටම නිරීක්ෂණයේ යෙදෙන බවත්, රට තුළ ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමත් සමගින්ම වෙළෙඳ පොළ යළි යථා තත්ත්වයට පත්වීමක් බලාපොරොත්තු වන බවත් නෙස්ලේ ලංකා පීඑල්සී මෙහිදී සඳහන් කරයි.

මෙරට තුළ මෙන්ම ජාත්‍යන්තරවත් වඩාත් ජනප්‍රිය පිටි කළ පොල් කිරි සන්නාමයක් බවට පත්වීමට නෙස්ලේ සමාගමේ මැගී පිටිකළ පොල් කිරි සමත්ව සිටියි. 1986 වසරේ සිට ඔවුන් මෙලෙස ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් පිටි කළ පොල් කිරි නිපදවීම සිදු කරන අතර 2019 වසරේදී ‘මැගී පිටි කළ පොල් කිරි’ සන්නාමය සිය 33 වැනි සංවත්සරයත් සැමරීය.

මේ වනවිට නෙස්ලේ ලංකා සමාගම වාර්ෂිකව ශ්‍රී ලාංකික ගොවි පවුල් 6,600 කින් පොල් මිලියන 90 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නා බවත් සඳහන් කරයි. 2018 වසරේදී පමණක් මෙම මිලදී ගැනීම් සඳහා සමාගම වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 4.6 කි.

Views: 69