ලැයිස්තුගත සමාගම්හි මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ දින නියම කෙරේ

ලැයිස්තුගත සමාගම්හි මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ දින නියම කෙරේ

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් ලෙස ඉදිරිපත් කළ යුතු වාර්ෂික වාර්තා සහ අතරමැදි මූල්‍ය ප්‍රකාශ සඳහා ලබා දී ඇති අමතර කාලය පිළිබඳව සඳහන් කරමින් කොටස් වෙළෙඳ පොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා සියලුම සමාගම්වල ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් උද්ගතව පවතින තත්ත්වයත් සමගින්ම පසුගිය අප්‍රේල් 10 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් මෙම මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි. ඊට අදාළ වන නව දිනයන් පසුගිය මැයි 14 වැනිදා මෙම නිවේදනය මගින් මෙලෙස නිකුත් කෙරී ඇත.

ඒ අනුව 2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා වූ මූල්‍ය කාලසීමාව සඳහා, 2020 මැයි 31 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම 2020 සැප්තැම්බර් 18 වැනිදා දක්වා කල් ලබා දී තිබේ.

එසේම 2020 මාර්තු 31 වැනිදා දක්වා වූ මූල්‍ය කාලසීමාව සඳහා 2020 අගෝස්තු 31 වැනිදා ඉදිරිපත් කළ යුතු වූ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට 2020 දෙසැම්බර් 18 වැනිදා දක්වා කල් ලබා දී ඇත.

2020 මාර්තු 31 වැනිදායින් අවසන් වීමට නියමිත පළමු කාර්තාව සඳහා වන අතරමැදි මූල්‍ය ප්‍රකාශ 2020 මැයි 15 වැනිදා ඉදිරිපත් කළ යුතු වුවත් ඒ සඳහා 2020 අගෝස්තු 04 දක්වා කල් ලබා දී ඇත.

එසේම 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වන සිව්වැනි කාර්තුව සඳහා වන අතරමැදි මූල්‍ය ප්‍රකාශ 2020 මාර්තු 31 වැනිදා ඉදිරිපත් කළ  යුතු වුවත්, එය 2020 සැප්තැම්බර් 03 දක්වා කාලය දිගු කර තිබේ.

විශේෂයෙන්ම ඇඳිරි නීතිය ඇතුළු සීමා කිරීම් නිසා මෙම මූල්‍ය වාර්තා සකස් කිරීමට තරම් ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අදාළ ලැයිස්තුගත සමාගම් තුළ මෙම කාලසීමාවේදී සේවයට නොපැමිණීමත්, විගණන සමාගම් හරහා එම මූල්‍ය වාර්තා අනුමත කරගැනීමේ ගැටලු පැවතීමත් යන කරුණු සලකා බලමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය අප්‍රේල් 10 වැනිදා මෙම තීරණය ගෙන තිබුණි.

කෙසේ වෙතත් ඉහත සඳහන් චක්‍රලේඛය අනුව ලබා දී ඇති විශේෂිත දින ඇතුළත ලැයිස්තුගත සමාගමක් මෙම වාර්ෂික වාර්තා හෝ අතරමැදි මූල්‍ය ප්‍රකාශ කොළඹ කොටස් වෙළෙඳපොළ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම් එම සමාගම් ඒ පිළිබඳව වෙළෙඳපොළ වෙත දන්වා සිටීම අනිවාර්යය බවද රේණුක විජයවර්ධන මහතා සියලුම ලැයිස්තුගත සමාගම් වෙත පවසයි.

Views: 16