මත්පැන් සඳහා වන ඉල්ලුම ඉක්මණින්ම යළි සැකසේවි – හැරී

මත්පැන් සඳහා වන ඉල්ලුම ඉක්මණින්ම යළි සැකසේවි – හැරී

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා පැනවූ ලොක්ඩවුන් සීමා නිසා පහත වැටී තිබූ මත්පැන් සඳහා වන ඉල්ලුම ඉතාමත් කෙටි කලකදී මුළුමනින්ම යථා තත්ත්වයට පත් වෙනු ඇතැයි ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම පවසයි. එහි සභාපති හැරී ජයවර්ධන මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම සීමා ලිහිල් කරමින් යළිත් වරක් රට තුළ මත්පැන් අලෙවිය සඳහා අවස්ථාව ලබාදුන් මොහොතේ සිට මෙම තත්වය උදා වෙනු ඇති බවත්, මෙම ඉල්ලුම අඩුවීමට මූලිකවම හේතුව සමාජ දුරස්තකරණය බවත් එහි සඳහන් වෙයි.

“මත්පැන් ශාලා, ආපනශාලා, හෝටල්, ප්‍රියසම්භාෂණ ශාලා සියල්ල සම්පූර්ණයෙන්ම යළිත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීම ඇරඹීම අපගේ ආදායම් වෙත සැලකිය යුතු බලපෑමක් සිදු කරාවි. කෙසේ වෙතත් ක්ෂුද්‍ර ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් අපගේ වෙළෙඳ පොළ පිරමීඩයේ යටි කොටසේ සිටින පිරිසගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීමත් සමගම අපගේ නිෂ්පාදන සඳහා වන අලෙවි ධාරිතාවට බලපාවි.”

කොවිඩ්19 වසංගතය හේතුවෙන් හට ගෙන ඇති ආර්ථික අර්බුදය නිසා සිය ව්‍යාපාර වෙත ඇතිව තිබෙන බලපෑම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ සිය ලැයිස්තුගත සමාගම් වෙතින් සිදු කර ඇති ඉල්ලීමට ප්‍රතිකාර දක්වමින් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම මෙම ලිපිය යොමු කර තිබේ.

මේ අතර, දැනට රට තුළ පනවා ඇති ආනයන සිමා කිරීම් හේතුවෙන් විදේශීය මත්පැන් මෙරටට ගෙන්වීම තහනම් වී ඇති නිසා ඒවායින් ලැබෙන ආදායමද අඩුවිය හැකි බවත්, ඉදිරි කාලය තුළදී සිය ආදායම් වෙත එල්ල වන එම පාඩුව දේශීය මත්පැන් අලෙවිය හරහා මඟ හැරවී යනු ඇති බවත් හැරී ජයවර්ධන මහතා මෙහිදී විශ්වාසය පළ කර තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය ව්‍යාප්තවීම පාලනය සඳහා වන එක් ක්‍රියාමාර්ගයක් ලෙස මාසයකට අධික කාලයක් දිවයින පුරා පිහිටි මත්පැන් හල් වසා දැමීමට රජය පියවර ගෙන තිබුණි. ඒ අනුව මෙම සීමා කිරීම්ද සමගින් රට තුළ මත්පැන් භාවිත කළ පුද්ගලයන් 80%ක් ඉන් ඉවත්වී ඇතැයි මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයද (ADIC) නිවේදනයක් මගින් සඳහන් කර තිබුණි. එහෙත් පසුගිය මැයි 12 වැනිදා යම් සීමාවන්ට යටත්ව දිවයින පුරා මත්පැන් ශාලා විවෘත කෙරුණු අතර, එහිදී මත්පැන් ලෝලීන් අතිවිශාල පිරිසක් මෙම මත්පැන් හල් ඉදිරිපිට රැඳී සිටිනු දැකගත හැකිවිය.

විශේෂයෙන්ම රට තුළ ලොක්ඩවුන් සීමා පැන වූ කාලසීමාවේදී සිය සමාගම වෙත දරුණු බලපෑම් රැසකටම මුහුණ දෙන්නට සිදු වුණු බවද ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ සභාපතිවරයා මෙහිදී පවසා සිටියි. එහිදී උදාහරණ ලෙස මෙම සීමා කිරීම් නිසා අලෙවි කරගත නොහැකි මත්පැන් වෙනුවෙන්ද සුරාබදු ගෙවීමට සිදුවීම නිසා සිය නිෂ්පාදන යම් තරමකින් සීමා කිරීමටද සමාගමට සිදුව තිබේ.

“අනෙක් අතට 2020 ජනවාරි 01 වැනිදා සිට එතනෝල් ආනයනයට පනවා තිබූ තහනම අපගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය සැපයුම් වෙත බලපෑවා. ඒ වගේම දේශීය රා කර්මාන්තය වෙනුවෙන් සමාගම දක්වන දායකත්වයත් මේ ලොක්ඩවුන් සීමා කිරීම් නිසා අඩපණ වුණා. ඒ නිසා රා සැපයුමත් අඩු වෙලා. කොහොම වුණත් රටෙහි ආර්ථික ක්‍රියාකාරකම් යළිත් ආරම්භ වෙලා මත්පැන් නිෂ්පාදනය සුපුරුදු පරිදි යළි සිදුකරගෙන යාමේදී ඇති වන සමස්ත ඉල්ලුමට දේශීයව සිදුකරන එතනෝල් නිෂ්පාදනය ප්‍රමාණවත් වෙන්නේ නැහැ.” හැරී ජයවර්ධන මහතා පවසයි.

මේ හේතුවෙන් ඉතාමත් නුදුරේදීම මෙම ආනයනික එතනෝල් සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම වැදගත් බවද ජයවර්ධන මහතා මෙහිදී පෙන්වා දෙයි. එසේ නොවුණහොත් රට තුළ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ යා හැකි බවත්, එය කොවිඩ්-19 වෛරසයේ පහරදීමට වඩා වැඩි සෞඛ්‍ය බලපෑමක් සිය පාරිභෝගිකයන් වෙත එල්ල කරනු ඇති බවත් ඔහු අවධාරණය කර තිබේ.

මේ අතර මත්පැන් අලෙවිය නවතා තිබීම නිසා මාසයකට රජයට අහිමි වන ආදායම රුපියල් බිලියන 15ක් බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මීට පෙර මාධ්‍ය වෙත සඳහන් කර තිබුණි.

Visits: 48