ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් වරලත් අලෙවි හවුල්කරුවා ලෙස Roar වැඩ අරඹයි

ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් වරලත් අලෙවි හවුල්කරුවා ලෙස Roar වැඩ අරඹයි

ෆේස්බුක් වෙබ්අඩවියේ මෙරට වරලත් අලෙවි හවුල්කරුවා ලෙස Roar global සමූහයට අයත් Roar Advertising (Pvt) Ltd සමාගම නම් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන ඇති වාර්තා වෙයි. ඒ අනුව ඊට අදාළ වන ලාංඡනයද Roar Advertising (Pvt) Ltd සමාගම වෙත පිරිනැමී තිබේ. එසේම ඊට පිරිස් බඳවා ගැනීම ඇතුළු ඉදිරි මෙහෙයුම් කටයුතුද මේ වනවිට නිල වශයෙන් ආරම්භ කෙරී ඇතැයිද වාර්තා පවසයි.

මෙම වරලත් අලෙවි හවුල්කාරීත්වය පිරිනැමීමත් සමගින්ම මෙරට දේශීය ව්‍යාපාර සහ නියෝජිතායතන වෙත අවශ්‍ය ෆේස්බුක්හි ඉතා උසස් මට්ටමේ මාධ්‍ය උපදේශකත්වය කිසිදු අය කිරීමකින් තොරව ලබා දීමේ පුහුණුව සහ හැකියාව Roar Advertising (Pvt) Ltd වෙත හිමි වන බව පැවසෙයි.

“මෙතැනදී ව්‍යාපාර වෙත ෆේස්බුක් වැඩමුළු සහ ෆේස්බුක් බ්ලූප්‍රින්ට් අවස්ථාවන් ඇතුළු පුහුණුවීම් සහ වැඩසටහන් සඳහා සම්බන්ධවීමේ අවස්ථාව ලැබෙනවා. ඒ හරහා මෙම දේශීය ව්‍යාපාර සහ ආයතන වෙත නව සහ අත්‍යවශ්‍ය දක්ෂතා පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි වෙනු ඇති. එසේම Roar Advertising (Pvt) Ltd හරහා මෙම දේශීය ව්‍යාපාර සහ ආයතන වෙත ගෙවීම් ක්‍රමවේද භාවිත කිරීමේ අවස්ථාවත් පවතිනවා.”

දකුණු ආසියානු කලාපය තුළ ව්‍යාප්ත වුණු මාධ්‍ය විසඳුමක් ලෙස 2014 වසරේදී මෙම roar global ආයතනය පිහිටුවීම සිදු විය. මුස්ටාෆා ඛසීම් එහි නිර්මාතෘවරයාය. අද වනවිට එය roar media, roar studios, roar digital ලෙස විවිධාංගීකරණය වී ඇත. ඒ අතරින් roar digital යටතේ මෙම Roar Advertising (Pvt) Ltd සමාගම පිහිටුවා තිබේ.

මෙලෙස ෆේස්බුක්හි වරලත් අලෙවි හවුල්කරුවා වීමේ අවස්ථාව හිමිවීමත් සමගින්ම Roar Advertising (Pvt) Ltd සමාගම වෙත දේශීය ව්‍යාපාර සහ නියෝජිතායතන වෙත අවශ්‍ය සහයෝගය සහ වෙළෙඳපොළ පිළිබඳ ප්‍රවීණතාව ලබා දිය හැකි බවත් එම සමාගම සඳහන් කරයි. විශේෂයෙන්ම වර්තමානයේ බලපා ඇති කොරොනා වසංගත අවස්ථාවේදී මෙම සහාය ඉතාමත් වැදගත් වන බවත් Roar Advertising (Pvt) Ltd සමාගම විශ්වාසය පළ කරයි.

“ලොව පුරා තෝරාගත් ස්ථාන පාදක කරගනිමින් පිහිටු වෙන මෙම ෆේස්බුක් වරලත් අලෙවි හවුල්කරුවන් යනු ෆේස්බුක් සමාගමේ අලෙවි කණ්ඩායම්හි තවත් දිගුවකි. ඔවුන් සිය රටවල සිටින දැන්වීම්කරුවන් සහ ආයතන වෙත සිය ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා දේශීය වශයෙන් සහයෝගය ලබා දෙයි. එසේම ෆේස්බුක් පවුලේ නිෂ්පාදනයන් හරහා තෝරාගත හැකි උපායමාර්ගික දිශානතියන් සහ ප්‍රවීණතාවන් පිළිබඳවත් උපදෙස් ලබා දෙනු ඇති. මෙහිදී සියලුම හවුල්කරුවන් සමාගමේ සේවාවන්හි ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ෆේස්බුක් සමාගම මගින් හොඳින් පුහුණුකරවා තිබේ.” ෆේස්බුක් වෙබ් අඩවියේ සඳහන් වෙයි.

දැනටමත් ෆේස්බුක් ආයතනය ලොව කලාප කිහිපයක් සඳහා සිය වරලත් අලෙවි හවුල්කරුවන් ලෙස ආයතන තෝරා ගෙන තිබේ. ඒ අතරින් Httpool ආයතනය මධ්‍යම සහ ඊසාන දිග යුරෝපය හා ආසියා පැසිපික් කලාපයේ ෆේස්බුක්හි වරලත් අලෙවි හවුල්කරුවා වෙයි. එසේම Cisneros Interactive ආයතනය ලතින් ඇමෙරිකානු සහ කැරීබියානු කලාපයේ ෆේස්බුක්හි වරලත් අලෙවි හවුල්කරුවා ලෙසද කටයුතු කරයි.

දකුණු ආසියානු ප්‍රේක්ෂකයන් වෙත ලෝක මට්ටමේ මාධ්‍ය විසඳුම් ලබා දීමට හැකි නව යුගයේ මාධ්‍ය ආයතනයක් ලෙස Roar global හඳුනාගැනීම මෙලෙස ශ්‍රී ලංකාව තුළ සිය වරලත් අලෙවි හවුල්කරුවා ලෙස එම ආයතනය තෝරා ගැනීමට හේතු වුණු බව ෆේස්බුක් සමාගම පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන ෆේස්බුක්හි ආසියා පැසිපික් කලාපයේ නැගී එන වෙළෙඳපොළ සඳහා වන අධ්‍යක්ෂ ජෝර්ඩි ෆොර්නීස්, “අග්නිදිග ආසියානු කලාපය තුළ අපගේ අලෙවි කණ්ඩායමේ දිගුවක් ලෙස දැක් වූ සාර්ථකත්වයත් සමගින්ම ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් සමාගමේ වරලත් අලෙවි හවුල්කරුවා වශයෙන් Roar Advertising (Pvt) Ltd සමාගම තෝරා ගැනීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාර සහ නියෝජිතායතන වෙත මෙම අභියෝගාත්මක කාලසීමාවේදී වඩාත් ශක්තිමත්ව නැගී සිටීමටත් අවස්ථාවක් උදා කරාවි.” යනුවෙන් පවසා සිටියි.

Roar global මෙන්ම Roar Advertising (Pvt) Ltd හි නිර්මාතෘවරයා සහ කළමනාකාර  අධ්‍යක්ෂවරයා වන මුස්ටාෆා ඛාසිම් අදහස් දක්වමින්, “ෆේස්බුක් සමාගම හා ඇති කරගත් මෙම  හවුල්කාරීත්වය පිළිබඳව වඩාත් සතුටට පත් වෙනවා. ඒ හරහා අප සතුව ශ්‍රී ලංකාව පිළිබඳව දැනට පවතින අවබෝධයත් සමගින්ම රටෙහි දේශීය ව්‍යාපාර සහ නියෝජිතායතන වෙත සිය දියුණුව වෙත යාමට හැකි සහාය ලබා දීමට පියවර ගන්නවා.” යනුවෙන් පවසා සිටියි.

Roar global සමූහය යටතේ ක්‍රියාත්මක Roar media වෙබ් අඩවිය මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රිය මාධ්‍ය සහ තොරතුරු වෙබ් අඩවියක් බවට පත්ව තිබේ. එය හරහා ඉංග්‍රීසි, සිංහල, දෙමළ සහ බෙන්ගාලි යන භාෂාවලින් ලිපි පළ කරයි. මේ දක්වා දකුණු ආසියාව පුරා විවිධ මාතෘකා යටතේ ලිපි 15,000 කට අධික ප්‍රමාණයක් වෙබ් අඩවිය තුළ පළ කර ඇති අතර පරිශීලකයන් මිලියන 130ක් ඒවා කියවා තිබේ. එසේම මේ දක්වා වෙබ්  අඩවිය තුළ වීඩියෝ පට 3,000ක් පළ කෙරී ඇති අතර, මිලියන 520ක් වාරයක් එම වීඩියෝ නරඹා තිබේ.

2018 වසරේදී ඩයලොග් ආසිආටා සමාගම roar media වෙත සිදුකළ ආයෝජනයක් සමගින් එහි වැඩි කොටසක හිමිකාරීත්වය කලක් ඩයලොග් ආසිආටා සමාගම සතු විය. කෙසේ වෙතත් අද වනවිට එම හිමිකාරීත්වය අවසන්ව ඇති අතර, roar හි පූර්ණ හිමිකාරීත්වය roar global සතු වෙයි.

Visits: 30