“කොටස් වෙළෙඳ පොළට ‘රිටේලර්ස්ලා’ හඳුන්වාදෙන්න මේක හොඳ වෙලාවක්”
“කොටස් වෙළෙඳ පොළට ‘රිටේලර්ස්ලා’ හඳුන්වාදෙන්න මේක හොඳ වෙලාවක්”
– සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය උදය ශ්‍රී කාරියවසම්
කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ක්‍රියාත්මක වුණු සමාජ දුරස්ථකරණ වැඩපිළිවෙලත් සමග වසා දැමුණු කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු කටයුතු හෙට (11දා) දිනයේදී යළිත් සුපුරුදු පරිදි ආරම්භ කෙරෙන බව එහි පාලනාධිකාරිය නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.
පසුගිය මාර්තු 20 වැනිදා අවසන් වරට ගනුදෙනු සිදුකළ කොළඹ කොටස් වෙළෙඳ පොළ, ඉතිහාසයේ සිදුවූ දරුණුතම කඩා වැටීමත් සමගම සිය ගනුදෙනු අත්හිටුවීමකට ලක් කෙරිණි. එහිදී සමස්ත මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව -6.22%ක අඩුවීමක්ද, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව -11.72%ක අඩුවීමක්ද සිදුවිය.
“රටක කොටස් වෙළෙඳ පොළ මාසයකට වඩා වැඩි කාලයක් වසා තැබීම කියන්නේ ගැටලුවක් තමයි. හැබැයි එය කිසිම දේශපාලන වුවමනාවකටවත්, ආර්ථික අවපාතයක් නිසාවත් සිදු වුණු දෙයක් නෙමෙයි. වෙන කරන්නම දෙයක් නොතිබුණු නිසයි මේ තීරණය ගත්තේ.”
‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ අප මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා එලෙස පැවසීය. ඒ මහතා අද වන විට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ‘උදය ශ්‍රී කාරියවසම් සහ සමාගම’ නමින් පෞද්ගලික විගණන ආයතනයක්ද පවත්වාගෙන යයි.
කෙසේ වෙතත් මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සිදු වනවිටත් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා20 දර්ශකය අවස්ථා තුනකට වඩා වැඩි ගණනකදී -5% කට වඩා අඩු වී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමේ වාර ගණනාවකටද මුහුණ දී තිබීමත් විශේෂත්වයක් විය.
“යුද්ධය නිසා හරි වෙන මොනයම් හේතුවක් නිසා හරි කොටස් වෙළෙඳ පොළ පහළ වැටුණා වගේ නෙමෙයි මේ අවස්ථාව. මෙතැනදී ප්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. එකක් තමයි රට ඇතුළේ ආර්ථිකයට වැදිලා තිබෙන පහරත් සමග නැගිටින්න අමාරුයි. දෙවැනි කාරණය මේක ලෝකෙටම බලපාපු දෙයක්. එතකොට දේශීය ආයෝජකයන් විතරක් නෙමෙයි විදේශික ආයෝජකයොත් අපෙන් ඈත්වෙලයි ඉන්නේ.” ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා පවසයි.
පසුව රට තුළ උද්ගත වූ තත්ත්වය හේතුවෙන් අවස්ථා කිහිපයකදීම කොටස් වෙළෙඳ පොළ සඳහා නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමත් සිදුවිය. අවසානයේදී අප්‍රේල් 01වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමට එහි පාලනාධිකාරිය විසින් පියවර ගන්නා ලදි. එහිදී මූලිකවම හේතු වූයේ කොළඹ නගරය වෙත පනවා තිබූ ඇඳිරි නීතියයි.
“ප්‍රාග්ධනය රැස් කරන්න බලාගෙන සිටි සමාගම් වෙත වගේම ප්‍රතිලාභ ලබා ගන්න සිටි ආයෝජකයන්ටත් මේ නිසා අවස්ථාවන් අහිමි වුණා. ඒ නිසා මේ වැටුණු කොටස් වෙළෙඳපොළ යළි නැගිට්ටවන්න හරි අමාරුයි. කලක් ගත වෙනවා.” ඔහු පවසයි.
මෙලෙස මාසයකුත් දින 20කට ආසන්න කාලයක් වසා දමා තිබූ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු හෙට දිනයේදී විවෘත කිරීමට තීරණය කෙරී ඇත. එහෙත් තවමත් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළුව දිස්ත්‍රික්ක කිහිපයක් වෙත ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ බලධාරීන් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳ පොළ යළි විවෘත කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස සිය නියාමකයා වන විනිමය හා සුරැකුම් පත් කොමිෂන් සභාව වෙතින් වාර කිහිපයකදීම ඉල්ලා තිබුණි.
අවසානයේදී මැයි 11 වැනිදා දිනයේ සිට රටෙහි කටයුතු යථාවත් කිරීමේ රජයේ තීරණය අනුව කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතුද මෙලෙස ආරම්භ වීමට සූදානම් වී තිබේ.
“මෙතැනදී තියෙන ලොකුම ගැටලුව වෙන්නේ මේ වනවිටත් ලැයිස්තුගත බොහෝ සමාගම්වල කොටස් මිල පහළ වැටී තිබීමයි. ඒ කියන්නේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය පහළ වැටෙනවා කියන එකයි. ඒ හරහා එම සමාගම්වලට මෙතෙක් තිබුණු වටිනාකම් භාගයකට භාගයක් පහත වැටිලා. ඒ වගේම ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනවලින් රටේ ණය වර්ගීකරණයත් පහත හෙළලා. බැංකුවලත් ණය වර්ගීකරණය පහත වට්ටලා. ලොකු ලොකු සමාගම්වල වර්ගීකරණය පහත වට්ටලා, ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ගැටලු තිබෙනවා.” ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා පවසයි.
කෙසේ වෙතත් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය වෙත හඳුන්වාදුන් එකිනෙකට බැඳුණු පරිපථ ඛණ්ඩන තුනක් සමගින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කටයුතු හෙට පෙරවරු 11.00ට ආරම්භ කෙරෙන බව කොටස් වෙළෙඳ පොළ නිවේදනය කර තිබේ. ගනුදෙනු සාමාන්‍ය ලෙස සිදුවුවහොත් දහවල් 1.00 දක්වා එය පවත්වා ගෙන යාම සැලසුම වෙයි. එසේ නොවී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයේ අගය -10% කට වඩා අඩුවුවහොත් එම මොහොතේදීම දිනයේ ගනුදෙනු අත්හිටුවීමට තීරණය වී ඇත.
මෙලෙස කුමන ක්‍රමවේදයක් යටතේ වුවද කොටස් වෙළෙඳ පොළ කටයුතු යළි ප්‍රතිව්‍යහුගතකරණයට ලක් කරමින් ගනුදෙනු නැවත ආරම්භ කිරිමට නම්, රටෙහි සාර්ව ආර්ථික මූලිකාංගයන් සියල්ලම නිසි පරිදි සකස් වී තිබීම අනිවාර්යය බවද ආචාර්ය කාරියවසම් මහතා පෙන්වා දෙයි.
“දැනට අපිට පෙනෙන විදියට නම් මේ අවුරුද්දේ රටේ ආර්ථික වර්ධන වේගය ඉතාමත් දරුණු මට්ටමින් පහත වැටෙනවා. එය 2%ක මට්ටමකටත් වඩා අඩු වේවි කියලයි හිතන්නේ. හැබැයි මේ තත්ත්වය තිරණය වෙන්නේ කොවිඩ්-19 බලපෑම කොතරම් දුරට රට තුළ තියෙනවාද කියන දේ මතයි. වසරේ දෙවැනි කාර්තුවත් මේ විදියටම කොවිඩ් සමගම ගතවේවි. තෙවැනි කාර්තුවේ ඉදලාවත් රටේ ආර්ථිකය යම්කිසි මට්ටමකට ආවොත්, හතරවැනි කාර්තුවේදී මේ ආර්ථික වර්ධනය පවත්වාගෙන යන්න පුළුවන් වේවි.”
මේ අතර, කොවිඩ්19 වසංගතය නිසා ආර්ථික වර්ධනය පහත වැටෙනවා හා සමානව වෙළෙඳ හිඟයද අනිවාර්යයෙන්ම පුළුල් වන බව ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා සඳහන් කරයි. විශේෂයෙන්ම ඩොලර් බිලියන 12ක් වූ අපනයන වෙළෙඳ පොළ ආදායම මේ වසරේදී තවත් 42%කින් කප්පාදු කර තිබීමත්, විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ මුදල් අඩුවීමත් සමගම රුපියලේ විනිමය අනුපාත අගය අඩුවීම මේ සඳහා හේතු වෙයි.
“විදේශ විනිමය ලැබෙන තවත් ක්‍රමයක් තමයි ආයෝජන. සාමාන්‍යයෙන් විදේශ ආයෝජන කොටස් දෙකයි. එකක් මෙරට සමාගමක් සමගින් එකතු වෙලා විදෙස් ආයෝජකයන් සිදු කරන ඍජු විදේශ ආයෝජන. අනෙක විදේශිකයන් කොටස් වෙළෙඳ පොළේ සිදු කරන ආයෝජන. අද මේ දෙක ගැනම බලාපොරොත්තු තබා ගන්න බැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම වෙළෙඳ හිඟයේ පරතරය පුළුල් වෙනවා. මේ කියන කාරණා සියල්ලමත් සමගින් තමයි කොටස් වෙළෙද පොළ යළි ප්‍රකෘතිමත් කරනවා කියන සාධකය තීරණය වෙන්නේ.”
ඒ අනුව කොටස් වෙළෙඳපොළ කටයුතු යළි ප්‍රකෘතිමත් වීම සිතනා තරම් ඉක්මණින් සිදු නොවන බවත් ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතාගේ අදහස වී තිබේ.
“බැරිවෙලාවත් හෙට මේ කොටස් වෙළෙඳපොළ විවෘත කළාට පස්සේ කොටස් හිමිකරුවන් තමන්ගේ කොටස් එක පොදියට විකුණන්න ගත්තොත් මොකද වෙන්නේ. මම දන්න විදියට අපිට මීට පෙර මෙවැනි අත්දැකීමක් නැහැ. ඒ වගේම තමයි කවුරු හරි හිතනවා නම් 11 වැනිදා වැඩ පටන් ගත්ත ගමන් කොටස් වෙළෙඳපොළ හරියනවා කියලා, එය වැරැදියි. අපේ රටේ කොවිඩ් -19 නවත්වගන්නවාට වඩා වැදගත් වෙන්නේ රටින් පිට කොවිඩ්-19 නවත්වා ගැනීම. මොකද අපේ ගොඩක් වෙළෙඳ පොළ තියෙන්නේ ඇමෙරිකාවේ, යුරෝපයේ. යුරෝපයේ වෙළෙඳ පොළ කොහොමත් වැටිලා තිබුණේ. ඒ අය බොහෝම අමාරුවෙන් අල්ලගෙන ගියේ. ගෝලීය දළ ජාතික නිෂ්පාදනයට ගොඩක් දායක වෙන්නේ ඇමෙරිකාවේ යුරෝපයේ ආර්ථික වර්ධනයයි. ඒ කලාපයේ මේ වර්ධනය 2% – 3% අගයක තමයි තියෙන්නේ. ආසියාවේ තමයි එය 6%ක අගයක් ගන්නේ.”
තවත් අතකින් ගත් විට රජය මහ බැංකුව හරහා ප්‍රකාශයට පත් කර ඇති ණය පොළී අනුපාතික අඩු කිරීමත් කොටස් වෙළෙඳ පොළ කටයුතු වෙත ඉදිරියේදී යම් ආකාරයකින් බලපෑම් එල්ල කරනු ඇතැයිද ආචාර්ය කාරියවසම් පෙන්වා දෙයි.
“ණය දීමේ පොළී අනුපාත අඩු කළොත් අඩු මුදලට ජනතාවට ණය ගන්න පුළුවන්. දැනටමත් වෙළෙඳ පොළේ අතිරික්ත ද්‍රවශීලතාවක් තිබෙනවා. එවැනි අවස්ථාවකදී බැංකුවලට මේ සල්ලිවලට මොකද කරන්නේ කියල ගැටලුවක් තියෙන්න පුළුවන්. එතැනදී බැංකු ප්‍රධානවම කරන්නේ එම මුදල් ණයට දෙන එක. රට තුළ ඒවගේ තත්ත්වයක් උදා වුණොත් කොටස් වෙළෙඳපොලට ඇවිල්ලා, ගැටලු දහසකට මුහුණ දීලා කොටස් නිකුත් කරලා ප්‍රාග්ධන රැස් කරගන්නවාට වඩා බැංකුවකින් ණයක් ගන්න එක පහසුයි කියලා සමාගම් හිමිකරුවන් හිතන්න පුළුවන්.
අනික් පැත්ත තමයි, මේ ණය පොළී අනුපාතික දළ වශයෙන් 8%ක් දක්වා අඩුවෙනවා කියලා ගණන් බැලුවොත්, ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ස්ථාවර තැන්පතු පොළිය 6%කටවත් අඩු වෙනවා. එතකොට බැංකුවේ සල්ලි දාලා වැඩක් නෑ කියන තැනකට මිනිස්සු එනවා. අන්න එතකොට මිනිස්සුන්ට හිතෙනවා කොටස් වෙළෙඳ පොළට ගිහිල්ලා මේ මුදල් ආයෝජනය කරලා ඉහළ ප්‍රතිලාභයකට යන්න හොඳයි නේද කියලා. හැබැයි එතැන අවදානම වැඩි එකයි ගැටලුව වෙන්නේ.”
කෙසේ වෙතත් පවතින මෙම තත්ත්වයත් සමගම ජනතාව වෙත කොටස් වෙළෙඳ පොළ සමගින් ගනුදෙනු කිරීම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දීම මේ මොහොතේ සිදුකළ යුතු වැදගත් දෙයක් බවද ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම දිගුකාලීන ප්‍රතිලාභ බලාපොරොත්තු නොවී, කෙටි කාලීන ලාභ බලාපොරොත්තුවෙන් කොටස් වෙළෙඳපොළ වෙත සිල්ලර ලෙස ආයෝජන සිදු කරන ‘සිල්ලර ආයෝජකයන් (රීටේලර්ස්) ගෙන්වා ගැනීම මේ මොහොතේ සිදු කළ හැකි බවත් හෙතෙම සඳහන් කරයි.
“කොටස් වෙළෙඳ පොළට හුඟ දෙනෙක් එන්නේ යම් සමාගමක කොටස් යම් ප්‍රමාණයක් හිමි කරගන්න. ඒ හරහා ලාභාංශ ලබා ගන්න. ඒත් මේ රිටේලර්ස්ලා එන්නේ අද ගන්න කොටස් යම් කිසි ගාණකට හෙට විකුණන්න බලාගෙන. එවැනි හැකියාව ඇති බොහෝ දෙනෙක් අද රටේ ඉන්නවා. අපි බැලුවොත් යම් කෙනෙකුට කල්පනාවෙන් මේ දේ කරන්න පුළුවන් නම් ඒ සඳහා යම් විශ්වාසයක් ඇති කරන්න ඕනේ. එතැදී රටේ මූල්‍ය වෙළෙඳ පොළ ස්ථාවරත්වය යහපත් කියන මානසිකත්වය මේ පිරිස තුළ ඇති කළ යුතුයි.”
විශේෂයෙන්ම අද වනවිට ජනතාවට මාස කිහිපයක්ම බැංකු ණය පොළිය සහ කල්බදු වාරික නොගෙවීමේ අවස්ථාවක් හිමිව තිබීමත්, වැඩි දෙනෙකු බැංකු තුළ මුදල් තැන්පත් කරනවාට වඩා තම අතෙහි මුදල් තබා ගැනීමක් වෙත යොමුවීමත් නිසා බැංකුවලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ජනතාව අතර ගැවසෙන බවද ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතාගේ අදහස වී තිබේ.
“දැන් වෙන්නේ සල්ලි එළියට යාමක්. සල්ලි බැංකු ඇතුළට එන්නේ නෑ. ඒ කියන්නේ මිනිස්සු අතර සල්ලි තියෙනවා කියන එක. ඒකෙන් සිදු වෙන්නේ මිනිසුන් අතර ද්‍රවශීලතාව ඉහළ යන එකයි. මේ දේ ගැන හරියටම කල්පනා කරනවා නම් ඒ මුදල් කොටස් වෙළෙඳ පොළ ආයෝජන වෙත ගෙන්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි දිගුකාලීන ලාභාංශ ප්‍රතිලාභ බලාපාරොත්තුවෙන් නෙමෙයි, කෙටි කාලීනව යම් ප්‍රාග්ධන ලාභයක් බලාපාරොත්තුවෙන්.”
කෙසේ වෙතත් දැනට කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය දරා සිටින ලැයිස්තුගත සමාගම් කිහිපයකගේ සහ කොටස් තැරැව්කාර සමාගම් කිහිපයකගේ බලපෑම් නිසා එවැන්නක් සිදුවීමේ ඇති හැකියාව ඉතාමත් අල්ප බවද හෙතෙම මෙහිදී සඳහන් කරයි.
ඒ නිසා හැකි සෑම විටම කොටස් වෙළෙඳ පොළ වෙත මෙම සිල්ලර ආයෝජකයන් වැඩි වශයෙන් උනන්දු කරවීම මේ මොහොතේදී අත්‍යවශ්‍යව ඇති කරුණක් බවද ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා සඳහන් කර සිටියි. එසේ නොවී සෑම විටකම රජය හෝ රජයේ ව්‍යවසායන් මෙම කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජන සඳහා ඉදිරිපත්වීමටද ඉදිරියේදී අවස්ථාවක් නොලැබෙනු ඇතැයිද හෙතෙම මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරයි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතා ඔස්ට්‍රේලියාවේ Certified Practicing Accountants ආයතනයේ මෙන්ම එක්සත් ජනපදයේ Association of Certified Fraud Examiners ද සාමාජිකයෙකි. එසේම ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකුද වන ඒ මහතා ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණික සංගමයේ ජ්‍යෙෂ්ට සාමාජිකයෙකුද වෙයි. ඔස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලයෙන් Business in Accounting පිළිබඳ උසස් උපාධියක්ද හිමි කරගෙන තිබේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ධුරයට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, ලංකා බැංකුව, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා, කාර්මික සංවර්ධන මණ්ඩලය යනාදී ආයතනවල සභාපති ධුරයන්හිද, ලංකා හොස්පිටල්ස් පීඑල්සීහි උප සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර ඇත.
Views: 1126