“සර්කිට් බ්‍රේකර් ගැන කොටස් වෙළෙඳපොළ යළි සිතා බැලිය යුතුයි” – නිමල් පෙරේරා

“සර්කිට් බ්‍රේකර් ගැන කොටස් වෙළෙඳපොළ යළි සිතා බැලිය යුතුයි” – නිමල් පෙරේරා

කොළඹ කොටස් වෙළෙඳ පොළ පාලනාධිකාරිය විසින් හඳුන්වා දී ඇති පරිපථ ඛණ්ඩන පිළිබඳව යළිත් වරක් සිතා බැලිය යුතුය යන්න සිය අදහස බව මෙරට සුප්‍රසිද්ධ ව්‍යපාරිකයෙකු, ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි.

දින 50කට ආසන්න කාලයක් වසා දමා තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (මැයි 11දා) දිනයේදී විවෘත වීමෙන් පසුව උද්ගතවූ දරුණු කඩා වැටීමේ අවස්ථාව සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා අදහස් දක්වමින් නිමල් පෙරේරා මහතා මෙම කරුණු දක්වා තිබේ.

මෙහිදී කොළඹ කොටස් වෙළෙඳ පොළ විසින් එහි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය වෙත එකට බැඳුණු පරිපථ ඛණ්ඩන තුනක් හඳුන්වාදී තිබූ අතර, එම දර්ශකයේ අගය අවස්ථා තුනකින් පසුව -10% දක්වා අඩුවුවහොත් දෛනික වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටුවීමක් සිදු කිරීම සැලසුම වී තිබුණි. ඒ සඳහා පැය 2කට ආසන්න කාලයක්ද වෙන් වී තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේ පෙරවරු 11ට ආරම්භ වුණු කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තත්පර 38ක් වැනි කාලයක් තුළදී අහවර කර කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළට සිදු වූ බව පැවසෙයි. පෙර සඳහන් කළ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය ක්ෂණයකින් -10.11% ක් දක්වා පහළ යාම ඊට හේතුවිය.

“මගේ අදහස වෙන්නේ මේ පරිපථ ඛණ්ඩන යාන්ත්‍රණය සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ යළිත් සිතා බැලිය යුතුයි කියලයි. මෙතැනදී වැදගත් වෙන්නේ වෙළෙඳ පොළ ගමන් කරන මාවත තීරණය කරන්න යම් කාලයක් ලබා දීමයි. එහෙම නොවුණොත් අපිට හැමදාම මේවගේ තත්ත්වයන් දකින්නට ලැබේවි.” නිමල් පෙරේරා මහතා පවසා සිටියි.

දිනය අවසන් වන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 4,392.43ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයට (ගනුදෙනු දෙනු අවසන් වරට පැවැත්වුණු මාර්තු 20 වැනිදාට) සාපේක්ෂව ඒකක 179.20ක අඩුවීමක් ලෙස වාර්තා වූ අතර එය -3.92%ක පහත වැටීමකි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා20 දර්ශකය ඒකක 1,760.53ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 186.89ක අඩුවීමක් ලෙස වාර්තා වී තිබූ අතර එය -9.60%ක පහත වැටීමක් ලෙසින්ද සඳහන්ව තිබුණි.

මේ අතරම අද දිනයේදී ගනුදෙනු වූ සියලු කොටස් ප්‍රමාණය 4,411,477 ක් ලෙස සටහන්ව තිබූ අතර සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 24ක් (24,892,096.70) ක් විය.

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා NP Capital Ltd ආයෝජන සමාගමේ සභාපතිත්වය දරයි. එසේම Arimac Lanka සහ Dunimak යන සමාගම්වල සභාපතිත්වය දරයි. අද වන විට ඔහු ඉදිකිරීම්, වෙළෙඳාම්, මූල්‍ය සේවා, තාක්ෂණික, දේපළ සංවර්ධන, සත්කාරක සේවා සහ නිවාඩු යනාදී ක්ෂේත්‍ර පුරා ආයෝජන සිදු කර තිබේ.

කලක් මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා සමගින් එක්ව 2017 වසර තෙක් ව්‍යාපාර කටයුතු සිදුකළ නිමල් පෙරේරා මහතා ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී, ලංකා සෙරමික්ස් පීඑල්සී, හොරන ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී යන සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. වැලිබල් වන් පීඑල්සී සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා විය. එල්.බී. ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසත්, හේලීස් පීඑල්සී, කිංග්ස්බරි පීඑල්සී, හේකාර්බ් පීඑල්සී සහ තලවාකැලේ ටී  එස්ටේට්ස් පීඑල්සීහි අධ්‍යක්ෂවරයා මෙන්ම වැලිබල් පවර් එරත්න පීඑල්සී ඇතුළු සමාගම්හි විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ධම්මික පෙරේරා සමගින් පැවැති සහයෝගිතාවයෙන් ඉවත්වූ නිමල් පෙරේරා පසුව 2018 වසරේ සිට තනිවම කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනයට ඉදිරිපත් විය. එහිදී ඔහු සිදුකළ ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 2කට ආසන්න විය. එහිදී ලැයිස්තුගත සමාගම්හි විදේශිකයන් සතුව තිබූ කොටස් වැඩි ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට නිමල් පෙරේරා සමත් විය.

මේ යටතේ ඔහු හැටන් නැෂනල් බැංකුවේ කොටස් මිලියන 1.7 ක්, සම්පත් බැංකුවේ කොටස් මිලියන 2.5ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 1.5ක්, එයිට්කන් ස්පෙන්ස් හි කොටස් මිලියන 1.5ක්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 3ක්, සෙලාන් බැංකුවේ කොටස් මිලියන 1ක්, ඒෂියන් හොටෙල්ස්හි කොටස් මිලියන 2ක්, ටෝකියෝ සිමෙන්ති හි කොටස් මිලියන 2ක්, ඇක්සස් ඉන්ජිනියරිං සමාගමේ කොටස් මිලියන 1.5ක්, ෂෙවරෝන් ලුබ්රිකන්ට්ස් සමාගමේ කොටස් ලක්ෂ පහක් සහ ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් හි කොටස් මිලියන 7ක් යනාදී ලෙස කොටස් මිලදී ගැනීමට කටයුතු යොදා තිබූ බව මාධ්‍ය වාර්තා පවසයි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීමෙන් අනතුරුව කොටස් මිල දර්ශකයේ පහළ යාම සඳහා වැඩි බලපෑමක් දැක්වූ සමාගම් අතරද නිමල් පෙරේරා මහතා ආයෝජන සිදු කර ඇති ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව,  ඒෂියා ඇසෙට් ෆිනෑන්ස්, ඇක්සස් ඉන්ජිනියරින් ඇතුළු සමාගම් කිහිපයක්ද වන බව පැවසෙයි.

Visits: 535