වෘත්තීය අයිතිවාසිකම් යම් පමණකින් හෝ කැප කර දිනා ගත යුතු ඉදිරි ආර්ථික අර්බුදය
වෘත්තීය අයිතිවාසිකම් යම් පමණකින් හෝ කැප කර දිනා ගත යුතු ඉදිරි ආර්ථික අර්බුදය
ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද දිනට යෙදී තිබේ. ලොව පුරා ව්‍යාප්ත ඇති කොවිඩ්19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වසරේ ජාත්‍යන්තර කම්කරු දිනය උත්කර්ෂවත්ව සැමරීමට ලොව කිසිදු රටකට හෝ අවස්ථාවක් උදා වී නොමැත.
මේ කොවිඩ්19 වසංගතයේ දරුණු බලපෑම එල්ල වී ඇත්තේද අද දිනයේ මේ කම්කරු දිනය සමරන ලොව පුරා විසිරී පැතිරී සිටින වැඩ කරන ජනතාවටයි. ලොව පුරා මිලියන ගණනකගේ රැකියා අහිමි වී ඇති අතර, ඉදිරි මාස කිහිපයේදී තවත් පිරිසකගේ රැකියා අහිමිවීමට නියමිතව ඇත. මෙරට තුළ රැකියා සුරක්ෂිතතාව අනතුරට ලක්ව ඇති පිරිස ලක්ෂ 20කට ආසන්නය.
බොහෝ පිරිසකට ගෙවුණු මාස කිහිපයේ වැටුප් පවා නිසි ලෙස ලැබී නොමැත. මෙය මුළු මහත් ලෝකයම වෙලා ගෙන ඇති ආර්ථික අර්බුදයේ තවත් එක් අවස්ථාවකි. එසේම එය 2008 වසරේ ඇති වූ ලෝක ආර්ථික අර්බුදයටත් වඩා දරුණුය.
කොවිඩ්-19 වසංගතයෙන් පසුව බිහිවන ලෝකය වඩාත් නැවුම් තැනක් වෙනු ඇතැයි අදහස් පළවී තිබේ. එය මිනිසා මෙතෙක් කළ නොපනත්කම්වලින් තොරව නව සිතුම් පැතුම් වෙත ඉඩක් හිමිවන තැනක් බවක්ද කියැවෙයි. එහෙත් අනාගතයේ බිහිවන එම ලෝකය එවැනි තැනක් කිරීමට හැක්කේද අද දවසේ මෙලෙස අහිමිවීම් රැසකටම මුහුණ දී සිටින වැඩ කරන ජනතාවටමය.
ඒ අනුව, වැඩකරන ජනතාව මේ අනාගත ලෝකය සාර්ථක කරගැනීම සඳහා කොන්දේසි විරහිතව දැක්විය යුතු දායකත්වය පිළිබඳව අදට යෙදෙන මෙම ජාත්‍යන්තර කම්කරු දිනයේදී අවධානයක් යොමුව තිබේ. එහිදී ඔවුන් අතින් පෙරට වඩා වැඩි කැපකිරීමක් අත්‍යවශ්‍ය බව අවිවාදිතය. විශේෂයෙන්ම ඔවුන් සතු වෘත්තීය අයිතිවාසිකම්වල කැපකිරීම ප්‍රධාන වෙයි.
මේ කරුණු සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ පිළිබඳ විශේෂඥ උපදේශකවරයෙකු වන ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත මෙසේ අදහස් දක්වා සිටියි. කළමනාකරණ ක්‍රමවේද පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු වන ඔහු, දෙස් විදෙස් සමාගම් රැසකම ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය සහ ආපදා අධ්‍යයනය පිළිබඳව උපදෙස් ලබාදීමේ අත්දැකීම් සපිරි අයෙකි.
ප්‍රභාත් සමරසිංහ මහතාට අනුව මෙම කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමගම ඇති වූ ආර්ථික අර්බුදයෙන් යම් තරමකින් හෝ හිස ඔසවා ඇති දේශීය කර්මාන්ත වන්නේ සෞඛ්‍ය කර්මාන්තය සහ තේ කර්මාන්තය පමණකි. එහිදී පෞද්ගලික රෝහල් කර්මාන්තය තුළ එවැනි තත්ත්වයක් නොමැති බවත්, තේ සඳහා මෑතකදී ඇති වූ ඉල්ලුමක් නිසා එයද කඩා නොවැටෙන තත්ත්වයකට පත්ව ඇතැයිද ඔහු සඳහන් කරයි.
“අනිත් කර්මාන්ත අතරින් ගත්තොත් ඇගලුම් කර්මාන්තය කඩා වැටිලා. බ්‍රැන්ඩික්ස් හිමිකරු පවා කියලා තියෙනවා තමන්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පාඩුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔහුට සිද්ධ වෙනවා සේවකයන්ගේ වැටුප් කපන්න හරි, රැකියා කපන්න හරි. ඒ අතරදීම ඇනවුම් නොලැබෙන තත්ත්වයක් පවතිනවා. ලබාදුන් ඇනවුම්වලට මුදල් ගෙවීමක් සිද්ධ වෙන්නේ නෑ.” ප්‍රභාත් සමරසිංහ මහතා පවසයි.
එසේම ආණ්ඩුව පාර්ශ්වයෙන් ගත් විට ඉදිරි මාස කිහිපයේදී රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමේ ගැටලුවක් පවා ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම අප රට තාමත් කොවිඩ්-19 බලපෑමේ ආරම්භක අවස්ථාවේ පසුවීම ඊට හේතුව බවත් ඔහුගේ අදහස වී තිබේ. ඒ අනුව බොහෝ දෙනෙකුටම මෙහිදී කැප කිරීම් සිදු කිරීම අනිවාර්යය වී තිබේ.
“උදාහරණයක් විදියට දැනට දශක කිහිපයක පෙර සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීම පිටුපස තිබුණු කාරණා ගත්තොත්, එහි අගමැතිවරයා වූ ලී ක්වාන් යූ ජනතාවට කිව්වේ නුඹලා මට දවසකට අමතරව තවත් පැය දෙකක් වැඩ කරන්න ඕනේ කියලයි. හැබැයි ඒ අමතර පැය දෙකට කිසිම ගෙවීමක් ලැබෙන්නේ නෑ කියලා ඔහු කිව්වා. එතැනදී ඔවුන් මේ පැය දෙක වැඩ කරන්නේ මේ රටේ දියුණුව වෙනුවෙන්, අනාගත ආයෝජනයක් විදියට කියලා ඔහු කිව්වා. සිංගප්පූරුවේ ජනතාවත් එය පිළිගත්තා. එහි ප්‍රතිඵලය තමයි 1980 දශකයේ අග වෙන කොට සිංගප්පූරුව තුන්වැනි ලෝකයේ රටක ඉදන් පළමු ලෝකයේ රටක් බවට පත්වෙන්නේ. එහි හොඳම ප්‍රතිඵලය ඔවුන් අද බුක්ති විදිනවා.
අන්න ඒ වගේ අපිටත් ඉදිරියේදී යම් කැපකිරීම්වලට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. මම කියන්නේ නෑ ඒ හරහා වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වය අඩපණ කරගන්න ඕනේ කියලා. නමුත් යම්තාක් දුරකට මේ තිබෙන තත්ත්වයත් සමග කැපකිරිමකට යොමු වෙන්න වෙනවා.
අපි යම් ආයතනයක් ගත්තොත් පසුගිය මාස කිහිපයේදීම ආදායමක් ලැබෙන වැඩක් කෙරිලා නැහැ. වැටුප් ගෙවන්න විදියක් නෑ. ඒ නිසා සේවකයන් අස් නොකර ආයතනය තිරණය කරනවා වැටුප්වලින් 50%ක් කපන්න. හැබැයි සේවකයෝ මේ වෙලාවේ වර්ජනයක් කරනවා, නෑ, අපිට ලැබුණු සම්පූර්ණ වැටුපම ඕනේ කියලා. වෙන්නේ මොකක්ද ආයතනය වහන්න සිද්ධ වෙනවා.
අපි සාධාරණව බැලුවොත් ආයතනය 50%ක වැටුප් දෙනවා කියලා තියෙනවා. ඒ නිසා මේ වර්ජනයට පිවිසෙන පිරිස් මොලේ කල්පනා කරලා හිතන්න වෙනවා, කාගේවත් කියුම් බහකට වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවාද? නැද්ද? කියන දේ. මොකද දිගුකාලීන අවස්ථාවේදී ඔවුන් පරාජයට පත්වෙනවා.” සමරසිංහ මහතා පවසයි.
“අපේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නවා ආදායමට අනුව වියදම් සකස් කරගන්නාවට වඩා තමන්ගේ වියදම්වලට අනුව ආදායම් සකස් කරගන්න. උදාහරණයක් විදියට සමහර ආයතනවල රියදුරන් ඉන්නවා දවසකට පැය අටක් වැඩ කරලා, ඊට පස්සේ තවත් පැය 10ක් විතර අමතර සේවා කාලයක් විදියට වැඩ කරන. මේ අමතර පැය 10 කවදාවත් අඩු කරනවාට ඔවුන් කැමති නෑ. මොකද ඔවුන් ඇත්තටම ජීවත් වෙන්නේ ඒ අතිකාල පැයවලින් ලැබෙන ආදායමෙන්. ඔවුන්ගේ පඩිය සම්පූර්ණයෙන්ම කැපෙන්නේ ණයවලට.”
කෙසේ වෙතත් රටෙහි පාලකයා ලෙස රජය දැන් මෙම ණය සඳහා වන වාරික යම් කාලසීමාවකට කපා ගැනීම කල් දැමීමකට යොමුව ඇති බවත්, එය වඩාත් හොඳි අවස්ථාවක් බවත් සමරසිංහ මහතා පවසයි. එහෙත් ඒ සඳහා මහ බැංකුව විසින් පෞද්ගලික බැංකු වෙත ලබා දී ඇති උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක වීමද වැදගත් බව ඔහු පවසයි.
“හැබැයි මේ අවස්ථාවේදීත් සාම්ප්‍රදායික වෘත්තීය සමිතියක් බවට පත්වෙලා, තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලීම් පස්සෙම ගියොත් වෙන්නේ කර්මාන්තශාලාවත් වැහිලා, අපිටත් පාරට බහින්න සිද්ධ වෙන එක. ඉතිහාසය පුරාම මේ සඳහා උදාහරණ හුඟක් තියෙනවා. පිටරට ආයෝජකයෝ ඇවිල්ලා මෙහේ කර්මාන්ත පටන් අරගෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා බංකොලොත් වෙලා එම ව්‍යාපාර වහල දමලා ගිය අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. පූගොඩ පෙහෙකම්හල ඊට හොඳම උදාහරණයක්
ඒ නිසා අපි මෙතැනදී යන්න ඕනේ සාම්ප්‍රදායික වෘත්තීය සමිතියක් බවට පත් නොවූ කැප කිරීම් හරහා ආයතනයත් ගොඩ දාගෙන තමනුත් මේ අර්බුදයෙන් ගොඩ යාමේ අවස්ථාවක් උදාකර ගැනීමයි.
අපි අපේ අයිතිවාසිකම් ලබා ගැනීමක් ගැන හිතන්න ඕනේ තමයි. නමුත් ඒ ගැන හිතනකොට අපි බලන්න ඕනේ එය ලබාගන්න ගිහිල්ලා අපිට තියෙන අන්තිම පුරුකත් නැතිවෙයිද කියලා. ඒ ගැන කල්පනා කළ යුතුමයි. එවැන්නක් සිදු නොවුණොත් අපි පවුල් පිටින් විනාස වෙන්නේ. ඒ නිසා ෂයිලොක් වගේ මස් රාත්තලම ඉල්ලන්න නරකයි. එහෙම වුණොත් මස් ග්‍රෑම් 100ක්වත් ලැබෙන්නේ නෑ.”
ඒ අනුව මෙය රටක් ලෙස හිමින් යා යුතු ගමක් බව ප්‍රභාත් සමරසිංහ මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම රට ආර්ථික වශයෙන් 2020 වසරේ මුලදී සිටි තැනට පමණවත් අපට ආපසු යාමට ලැබෙන්නේ 2021 වසරේ අගදී බව ඔහුගේ අදහස වී තිබේ. එයද යම් කිසි මට්ටමකින් මෙම වසංගත තත්ත්වය පාලනය වීම හරහා පමණකි.
“මේ ප්‍රශ්නවලින් ගැලවෙන්න කියලා මවාපෑමක් විදියට අපිට පුළුවන් රට තුළ මුදල් අච්චු ගැසීමක් වෙත යන්න. ඒත් එය උත්තරය නෙමෙයි. එය තවත් ගැටලු වැඩි කරනවා. මුදල් අච්චු ගහපු රටවල් ගත්තොත් ඒවායේ ආර්ථිකය තිබුණු තත්ත්වයටත් වඩා අන්ත වුණා. ඒ නිසා කිහිප දෙනෙකුගේ සතුට වෙනුවෙන් මුළු රටක්ම අගාදයට දැමීම වැරදියි කියලයි මට හිතෙන්නේ.
අපි ගත්තොත් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම අසීරුවෙලා ඔවුන්ගේ වැටුප් කප්පාදුවකට රජය යොමු වුණොත් එතැනදී එම සේවකයන් යම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා වෘත්තීය සමිතිවලට තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්නා අතරතුරදීම යුතුකමකුත් තියෙනවා මෙන්න මේ බැරූරුම් අවස්ථාවක් තියෙනවා කියන තැන ඉදන් කටයුතු කරන්න.”
මේ අතර, අද වන විට රටේ සාමාන්‍ය ජනතාවත් මේ ආර්ථික අර්බුදයෙන් උපරිම පීඩාවට පත්ව සිටීම වළක්වා ගත නොහැකිය. ඒ අතරතුරදී පොදු ප්‍රවාහන, ඉන්ධන, විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවල යම් පසුබෑමක් සිදුවුණොත්, ජනතාව මේ වෘත්තීය ක්‍රියමාර්ගවලට එරෙහිව පාරට බැසීම අනිවාර්යය බවද සමරසිංහ මහතා පවසයි. ඒ නිසා මෙම වෘත්තීය සමිති නායකයන් අනාගතයේදී උදාවන මේ අවස්ථාවන් ගැන හොඳ අවබෝධයකින් සිටිය යුතුම බව ඔහු සඳහන් කරයි.
“අපි ගත්තොත් අද මේ කොවිඩ්19 අර්බුදය යම් තරමකට සමනය කරගන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශාල දායකත්වයක් දීලා තිබෙනවා. ඒත් පසුගිය කාලසීමාවේදී ජනතාව මේ වෘත්තීය සංගමයට කෙළ ගහන තත්ත්වයට පත්වෙලා තිබුණේ. මිනිස්සුන්ට වෘත්තීය අයිතිවාසිකම් ගැන තේරෙනවා තමයි ඒත් ඊට වඩා තමන් මුහුණ දෙන අපහසුතාව ඔවුන්ට ප්‍රධානයි.
ප්‍රධානම දේ තමයි අපි සැම දෙනාම තම තමන්ගේ පටි තද කරගන්න ඕනේ. අද නිවෙස්වල ගත්තත් අපි අහක දාන්න කෑම හදන්නේ නෑ. විදුලිය වැඩිපුර පාවිච්චි කරන්නේ නෑ. ජලය පාවිච්චිය සීමා සහිත කරනවා. මේ සියල්ලම කරන්නේ එදිනෙදා වියදම් අඩු කරන්න. අපිට පුළුවන්නම් මේ දේ අපේ ආයතනයට, කර්මාන්තශාලාවට ආදේශ කරන්න එය අපේ වගේම කර්මාන්තශාලාවෙත් රැකීමට හේතුවක් වේවි. එය ආයතනයේ ප්‍රධානීන් තමන්ට කියනකම්ම ඉන්න ඕනේ නෑ.”
මෙහිදී අද මේ සිදුකරන කැප කිරීමේ ප්‍රතිඵලය භුක්ති විදින්නේ අනාගත පරම්පරාව බවත්, අපි මේ කැප කිරීම සිදු නොකළොත් අනාගත පරම්පරාව විනාශවිම අනිවාර්යය බවත් හෙතෙම පවසයි.
“අපි ගත්තොත් හෝටල් ක්ෂේත්‍රයේ ලක්ෂ 10කට විතර රැකියා නැති වෙනවා. හැබැයි ඒකට විරුද්ධ වෙලා හෝටල් ක්ෂේත්‍රයේ සේවකයෝ හෝටලය ඉදිරිපිට හිට ගෙන උපවාස කළාට රැකියා ලැබෙන්නේ නැහැ. වැටුපක් ලැබෙන්න ආදායමක් ලැබෙන්න තරම් සංචාරකයන් එන්නෙත් නැහැ.
කෙහොම වුණත් මේ ගැටලුවලදී සේවකයන්ට වගේම ව්‍යවසායකයන්ටත් යම් වගකීමක් තිනෙවා. ඔවුන් වුණත් මේ සියලුම පාඩු කොවිඩ් -19 වසංගතය පිට දාලා සරල විසඳම් විදියට සේවක වැටුප් අඩු කරලා, සේවක කප්පාදු සිදු කරලා අත පිහිදා නොගත යුතුයි. ඔවුන්ට ලොකු වගකීමක් තිනෙවා. එතැනදී එම ව්‍යවසායකයන් සංචාරකයන් පැමිණෙන්නේ නැත්නම් තමන්ගේ සම්පත් යොදා ගනිමින් විකල්ප ආදායම් මාර්ග සොයා ගත යුතුයි. එතැනදී හෝටලයේ වියදම් අඩු කරගෙන, යම් සාධාරණ මුදලකට දේශීය සංචාරකයන්ට සේවාව සලසන්න පුළුවන් නම් ඉන් යම් ආදායමක් උපයා ගන්න පුළුවන්.
මේ සඳහා ඉහළ කළමනාකාරීත්වය තීරණය ගත යුතුයි, මේ තත්ත්වය තුළ උපායමාර්ගිකව ගොඩයන්නේ කොහොමද කියන දේ. අපි විකල්ප ක්‍රම සොයා ගත යුතුයි. එකම දේ ගැන හිතන්නේ නැතිව අලුත් විකල්ප ක්‍රමවේද වෙත යොමු වෙන්න ඕනේ. එහෙම ගියෝතින් මේ රැකියා අහිමි වෙන පිරිස ඉතාමත් කෙටි කාලයකින් ගොඩ දාගන්න පුළුවන්. එහෙම නොවුණොත් මේ හඬාවැලපීම් එක්කම සදාකාලිකව අපිට ජීවත් වෙන්න සිදු වේවි.” සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙම සමාගම්වල අයිතිකරුවන්ටත් මේ ගැන වගකීමක් තිබෙන බවද සමරසිංහ මහතා අවධාරණය කරයි. එහිදී කර්මාන්තයක් ලෙස ගොඩයන්නේ කෙසේද යන්න සිතීම වැදගත් වෙයි. එසේ නොවුණහොත් ඔවුන්ගේ ව්‍යාපාර ස්වාභාවික මරණයකට පත්වීමක් බවද හෙතෙම පෙන්වා දෙයි.
“ඒ නිසා මේ කොවිඩ්-19 නිසා අර්බුදයට ලක්වෙලා තියෙන ව්‍යාපාර කොහොමද පවත්වාගෙන යන්නේ කියන දේ සේවකයෝ වගේම සේවායෝජකයෝත් කතාබහ කරලා විසඳා ගන්න ඕනේ. උදාහරණයක් විදියට ගත්තොත් ජපානයේ ටොයොටා ආයතනයේ දියුණුවේ රහස තමයි ඔවුන් අවුරුද්දකට සැරයක් සමාගමේ වියදම් අඩු කරන්න, අලුත් හඳුන්වාදීම් කරන්න තමන්ගේ සේවකයන්ග් නව අදහස් විමසා බලන එක. එතැනදී යෝජනා 1000ක් විතර ඉදිරිපත් වෙනවා. ඉන් හොඳම යෝජනා ක්‍රියාත්මක කරලා ඒවා හොඳද කියලා බලනවා. සාර්ථක නම් ඒ යෝජනාව ඉදිරිපත් කළ සේවකයාට ප්‍රතිලාභ ලබා දෙනවා. වැඩ කරන මිනිස්සු තමයි ආයතනයේ දියුණුව සඳහා අදහස් දෙන්නේ.
මේකට කළමනාකරණයේදී කියන්නේ කලෙක්ටිව් බාර්ගේනිං කියලා ඒ කියන්නේ කතා බහ කරලා සාමූහික එකඟතාවකට පැමිණිලා සිදු කරන කේවල් කිරීම. එතැනට ගියොත් තමයි අපිට මේ කඩාවැටුණු කර්මාන්තශාලා යම් තරමකින් හෝ ගොඩගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව දෙපාර්ශ්වය එකිනෙකාට විරුද්ධව වැඩ කරන්න ගියොත් සියල්ල අතහැර දමලා ගෙදෙට්ට වෙලා උඩබලාගෙන තමයි ඉන්න වෙන්නේ.” ප්‍රභාත් සමරසිංහ මහතා සඳහන් කරයි.
Views: 241