අපනයනය සංවර්ධන මණ්ඩලයේ සන්නාමය අලුත් වෙයි

අපනයනය සංවර්ධන මණ්ඩලයේ සන්නාමය අලුත් වෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB – Export Development Board) සන්නාමයේ හැඩය නවමු වෙනසකට ලක් කිරීමට එහි පාලනාධිකාරය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ප්‍රභාෂ් සුභසිංහ මහතාගේ මැදිහත්වීමෙන් මෙම නව සන්නාම වෙනස සිදුව ඇති බව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත වැඩිදුරටත් වාර්තා වී තිබේ.

විශේෂයෙන්ම ‘අපනයනය ජාතික ප්‍රමුඛතාවක්’ බවට පත් කිරීමේ කාර්යයේ තවත් එක් අවස්ථාවක් ලෙස මෙලෙස ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සන්නාමය වෙනස් කිරීමකට ලක්කර ඇත.

එහිදී පෙර පැවැති ඉලිප්සාකාර ලෝක ගෝලයත්, එහි ඉදිරිපිට ඇති සිංහයාගේ සලකුණත් වෙනුවට, රවුම් හැඩයකින් යුත් මැණික පෙනුම ගන්නා පසුබිමක් තුළ පිහිට වූ සිංහයාගේ සලකුණින් මෙම නව සන්නාමය ඉදිරිපත්ව තිබේ. එසේම පෙර සන්නාමයට වඩා වැඩි පෙනුමකින් යුක්තව මෙහි EDB යන අකුරු සලකුණු කර තිබේ.

“කොවිඩ්-19 අර්බුදය නිසා හට ගෙන ඇති ආර්ථික අර්බුදය සාර්ථක ලෙස ජයගැනීමට නම් ශ්‍රී ලංකාවට රටේ අපනයන අංශයේ ප්‍රගමනය ඉතා වැදගත් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ලෙස අප වටහා ගෙන ඇත්තෙමු. අසාමාන්‍ය තත්ත්වයන් පවතින මෙම කාලවකවානුවේදී, ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජන, සංචාරක කර්මාන්තය සහ රටේ සමස්ත ආර්ථිකය යන ක්ෂේත්‍ර කෙරෙහි විශාල බලපෑමක් සිදුවී ඇත. එබැවින් මෙම කාලය තුළ අපනයන අංශයේ ඇති වැදගත්කම අපි හඳුනාගෙන ඇත්තෙමු.” අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඒ අනුව මෙම තත්ත්වය දිරිමත් කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස වෙනත් රාජ්‍ය ආයතනවලින්ද එම මණ්ඩලය ඉල්ලීම් සිදු කර තිබේ. එහිදී සියලුම අපනයනකරුවන් සඳහා උපරිම සහයෝගය දීමට නොපමාව පියවර ගත යුතුව ඇති බව මණ්ඩලය පවසයි.

“අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කාලය පුරාවටම ඔබට අවශ්‍ය සහය ලබාදීමට සූදානමින් සිටියි. අපනයන අංශය ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා ඉදිරි කාල වකවානුවේ ඉතාම වැදගත් වන නිසාම සියලු අපනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය සහ කැපවීම තුළින් අප රට මෙම අභියෝගය ජය ගනු ඇත.” යනුවෙන්ද එම මණ්ඩලය සඳහන් කර සිටියි.

Visits: 40