ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන් (CRIB) නිවේදනයක්

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන් (CRIB) නිවේදනයක්

සිය කාර්යාංශයේ ලාංඡනය අනවසරයෙන් යොදා ගනිමින් ‘ණය සහන 2020’ නමින් පාරිභෝගික ණය තොරතුරු එක් රැස් කිරීමට තැත් කිරීමේ ව්‍යාජ නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විශේෂ නිවේදනයක් මගින් පවසයි.

ඒ නිසා කුමන හෝ මාධ්‍යයක් හරහා සිය කාර්යාංශයේ නමින් සිදුකරනු ලබන එවැනි තොරතුරු එක් රැස් කිරීම් ව්‍යාජ ඒවා බව කාර්යාංශයේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනි මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසයි.

ඒ අනුව මෙවැනි දේ සඳහා පාරිභෝගිකයන් සිය ණය තොරතුරු සැපයීමෙන් වැළැකී සිටිය යුතු බවත් ඔවුන් උපදෙස් ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා වෙබ් අඩවියේ අප එම කාර්යාංශයේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනි මහතා දුරකතනය හරහා සම්බන්ධ කරගනිමින් මෙම නිවේදනය පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා සිටියෙමු.

නන්දි ඇන්තනි මහතා

එහිදී අදහස් දැක්වූ ඒ මහතා, ගූගල් වෙබ් අඩවියේ සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සිය කාර්යාංශයේ සන්නාමයද අවභාවිතා කරමින් යම් පිරිසක් ‘ණය සහන 2020’ ලෙස ජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබූ බවත්, ණය සහන ලබා ගැනීමේ අවශ්‍යතාවක් පවතින්නේ නම් එහි ඇති කවුළුව වෙත ණය හිමිකරුවන්ගේ පෞද්ගලික තොරතුරු ලබා දිය යුතු බවට වන සඳහන් කිරීමක් වූ බවත් පවසා සිටියේය.

“මෙතැනදී එම සංවිධානය හෝ පුද්ගලයන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ලෙස පෙනී සිටීම තමයි ප්‍රධානම වැරැද්ද වුණේ. එතකොට ජනතාව අපේ කාර්යාංශයෙන් තමයි මේ තොරතුරු ඉල්ලන්නේ කියලා නොමඟ ගිහිල්ලා ඒ පෞද්ගලික තොරතුරු ඔවුන්ට ලබා දීමක් සිදු වෙන්න තිබුණා. අපි මේ ගැන දැනුවත්වූ වහාම ගූගල් සමාගම වෙත මේ පිළිබඳව දැනුවත් කරලා ඒ කටයුතු නවත්වා දැමීමට පියවර ගත්තා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළටත් අපි පණිවුඩ නිකුත් කරලා ජනතාව දැනුවත් කරන්න කටයුතු කළා. මොකද කාර්යාංශය විදියට අපි කවදාවත් ජනතාවගෙන් මේ විදියට තොරතුරු ඉල්ලන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ පෞද්ගලික තොරතුරු මේ විදියට අනෙක් පාර්ශ්ව වෙත ලබා දෙන්න එපා කියලා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දි ඇන්තනි මහතා, ණය සහන පිළිබඳව ජනතාවගෙන් තොරතුරු එක්රැස් කරගත හැක්කේ එම ණය ලබා දුන් බැංකු හෝ මූල්‍ය ආයතනවලින් පමණක් බවද පවසා සිටියේය.

“මේ තත්ත්වය අපේ රටේ මූල්‍ය ස්ථායිතාවට තර්ජනයක් ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලිකත්වයට පැහැදිලිවම හානිදායක අවස්ථාවක් වුණා. අපි මුලින්ම මේ ගැන දැනගත්ත ගමන් සිදු කළේ පොලිසිය යටතේ ඇති සයිබර් අපරාධ ඒකකය දැනුවත් කිරීමයි. ඔවුන්ට මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කිරීමේ අධිකාරිමය බලය තිබෙනවා. ඒ හරහා මේ ක්‍රියාව එතැනම නැවැත්වීමට පියවර ගත්තා.

ඒ වගේම අපේ කාර්යාංශය යටතේ තිබෙන තොරතුරු තාක්ෂණ ඒකක  හරහාත් මේ පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙනවා. මේ සියල්ලගේම අවසානයේදී අපි නීති උපදෙස් අනුව යමින් මෙම වැරදිකරුවන් වෙත දඩුවම්දීමටත් පියවර ගන්නවා.” නන්දි ඇන්තනි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර අදාළ කරුණ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර දැන ගැනීම සඳහා දුරකතන අංක 0112 13 13 13 ඔස්සේ සිය කාර්යාංශය හා සම්බන්ධ විය හැකි බවද ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය මෙහිදී සඳහන් කරයි.

Visits: 604