COVID-19 අපට නව අවස්ථාවක් ලබා දුන්නා‍ – කිමාලි ප්‍රනාන්දු

COVID-19 අපට නව අවස්ථාවක් ලබා දුන්නා‍ – කිමාලි ප්‍රනාන්දු

නව කොරෝනා හෙවත් කෝවිඩ්-19 වසංගතය හරහා මෙරට සංචාරක කර්මාන්තය අලුත් මුහුණුවරකින් එළිදැක්වීම සඳහා අවස්ථාවක් ලබා දී තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසයි. විශේෂයෙන්ම ඉහළ වියදම් සහිත සංචාරකයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙම සංචාරක කර්මාන්තය දියුණු කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඇය සඳහන් කරයි.

කෝවිඩ්-19 වසංගතය නිසා බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි ඉහළ නැංවීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය ඉදිරියේදී ලබා ගන්නා පියවර සම්බන්ධනේ දැනුවත් කරමින් ඇය මේ අදහස් පළ කර තිබේ.

එහි මූලික පියවර ලෙස වසර පහක තීරණාත්මක ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණු බවත් ඇය පවසා සිටියි. ඊට අමතරව තවත් සැලසුම් රැසක්ද තමන් සතුව ඇතැයිද ඇය පවසයි.

“අපි මේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනේ නියමයන්, ව්‍යාපෘති හා තාක්ෂණික ඇගයීම් කමිටු පත් කිරීම අවසන් කරමින්, නියමිත වේලාවට ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් වෙමිනුයි ඉන්නේ.”

එහිදී සංචාරකයන් ඉලක්ක කරගත්, දත්ත පදනම් කරගත් ප්‍රවර්ධන සැලැස්මක් සකස් කරන බවද ඇය පවසයි. “මෙම ප්‍රවේශය පාරිභෝගිකයන් වර්ග කෙරෙහි අවධානය යොමු කරන අතර පර්යේෂණ දත්ත පදනම් කරගත් ගෝලීය ප්‍රවර්ධන සැලැස්මක් සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දෙනු ඇති.” ඇය සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙ කෝවිඩ්-19 වෛරසය නිසා දේශසීමා වසා දැමීම සහ පුළුල් ලෙස සාමාජීය ඇත් වීම සමග සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් වඩාත්ම බලපෑමට ලක්වූ අංශයක් බවට පත් වූ බවද කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසයි.

ඒ අනුව, කර්මාන්තය යළි නැංවීම සඳහා තත්ත්ව තක්සේරු කිරීම, බලපෑම් තක්සේරු කිරීම සහ මාර්ග සිතියම්ගත කිරීම යන අදියර තුනක සැලැස්මක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමග දැනටමත් කටයුතු කරමින් සිටින බවත් ඇය මෙහිදී අනාවරණය කර තිබේ.

එසේම වර්තමාන තත්ත්වය අවිනිශ්චිත වුවත්, දිගුකාලීන සැලැස්ම මතකයේ තබා ගනිමින් එදිනෙදා කාරණා පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවද සභාපතිනිය සඳහන් කරයි.

“මෙම කර්මාන්තය ප්‍රාදේශීය සංගම් 34කින් සමන්විත වෙනවා. නවාතැන් අංශයට අමතරව, සංචාරක නියෝජිතයන්, සංචාරක මාර්ගෝපදේශකයන් සහ රියදුරන්ගේ සංගම්ද ඊට ඇතුළත්. මෙරට සංචාරක කර්මාන්තය සඳහා දිගුකාලීන සැලැස්මක් සකස් කිරීමට මෙම සියලුම සංගම් වෙත ඔවුන්ගේ විධිමත් යෝජනා අපට ලබා දෙන මෙන් ඉල්ලා තිබෙනවා. Sri Lanka Tourism Alliance කර්මාන්ත සමූහය පමණක් දැනට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කර ඇත.” ඇය පවසයි.

එසේම සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය සහ මහ බැංකුව පූර්ණ සහයෝගය ලබා දී ඇති බවත්, බැංකු හා මූල්‍ය ආයතනවල සහය සංචාරක කර්මාන්තය වෙනුවෙන් ලබා දෙන ලෙසද ඇය ඉල්ලා සිටියි. මීට අමතරව ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතන සමඟ සේවක වැටුප් ගෙවීම සඳහා කර්මාන්තයට සහාය වන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් පවතින බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් පවසා සිටියි.

Views: 181