වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා 217ක සේවකයෝ 30,269ක් වැඩලු

වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා 217ක සේවකයෝ 30,269ක් වැඩලු

දිවයින පුරා නිදහස් වෙළෙඳ කලාපවල පිහිටි කර්මාන්තශාලා 217ක් මේ වනවිට යළි සිය වැඩ ආරම්භ කර ඇතැයි කාර්මික අපනයනය, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වනවිට එම කර්මාන්තශාලා තුළ සේවයේ නිරත සේවක සේවිකාවන් සංඛ්‍යාව 30,269 කි.

විශේෂයෙන්ම රජයේ නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම කර්මානතශාලා වල සේවා ඇරඹූ බව එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. විවෘත කර ඇති මේ සැම කර්මාන්තශාලාවක්ම දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ පරීක්ෂාවට ලක් කෙරෙන බවත් අමාත්‍යවරයා පවසයි. එසේම එම කර්මාන්තශාලාද සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේද යන්න පරීක්ෂාවට ලක් කෙරෙන බවත් පැවසෙයි.

මෙහිදී ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ සිය සේවා කටයුතු ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින කර්මාන්තශාලා සඳහා මෙලෙස අවසරය ලබා දීම පසුගියදා සිදු විය. කෙසේ වෙතත් එම කර්මාන්තශාලා සිය සමස්ත සේවක සංඛ්‍යාවෙන් 20%ක පමණ පිරිසක් යොදවා ගනිමින් මෙම නිෂ්පාදන කටයුතු සිදු කරන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා 48ක නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර ඒවායේ සේවයේ නිරත සේවක සේවිකාවන් සංඛ්‍යාව 3971 කි. එසේම එම කලාපයේ සේවය කරන ආයෝජන මණ්ඩල සේවක සංඛ්‍යාව 60 දෙනෙකි.

බියගම නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා 35ක වැඩ මේ වනවිට ආරම්භ කර ඇති අතර සේවයේ නිරත සේවක සේවිකාවන් සංඛ්‍යාව 6938 කි. ආයෝජන මණ්ඩල සේවක සේවිකාවන් සංඛ්‍යාව 61 කි. සීතාවක පුර කර්මාන්ත පුරයේ ආයතන 18ක සේවක සේවිකාවන් 1489ක් සේවයට පැමිණ තිබේ. එහි සේවය කරන ආයෝජන මණ්ඩල සේවකයන් සංඛ්‍යාව 33 කි.

කොග්ගල කර්මාන්ත පුරයේ කර්මාන්තශාලා 19ක සේවක සේවිකාවන් 4092ක් සේවය කරයි. හොරණ කර්මාන්ත පුරයේ කර්මාන්තශාලා 17ක කටයුතු ආරම්භ වී ඇති අතර, සේවක සේවිකාවන් 865 දෙනෙකු එහි සේවය කරයි. වගවත්ත කර්මාන්ත උද්‍යානයේ පිහිටි කර්මාන්ත කලාපයේ කර්මාන්තශාලා 04ක සේවක සේවිකාවන් 342 දෙනෙකු සේවය කරන බවත් පැවසෙයි.

මීට අමතරව වතුපිටිවල කර්මාන්ත පුරයේ කර්මාන්තශාලා 10ක්, මාවතගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලා 04ක්, පොල්ගහවෙල වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා 05ක්, මල්වතුඟිරිපිටිය නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා 06ක්, මිරිස්සවල වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා 3ක් ද විවෘත කර තිබේ.

එසේම නුවර කර්මාන්ත උද්‍යානයේ කර්මාන්තශාලා 20ක සේවක සේවිකාවන් 2689ක් සේවය කරන බවත් අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව උතුරු හා නැගෙනහිර පළාතේ කර්මාන්තශාලා 12ක සේවා කටයුතුද මේ වනවිට ආරම්භ කර තිබේ.

Views: 401