කොරෝනා අස්සේ අලුත්ම Apple iPhoneSE එළි දක්වයි

කොරෝනා අස්සේ අලුත්ම Apple iPhoneSE එළි දක්වයි

ඇපල් සමාගම සිය නවතම හඳුන්වාදීම ලෙස දෙවැනි පරම්පරාවේ Apple iPhoneSE දුරකතනයක් එළිදැක්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. එක්සත් ජනපද ඩොලර් 399ක මුදලකට හඳුන්වාදී ඇති මෙම දුරකතනය අතේ ඇති මුදලට මිලදී ගත හැකි වඩාත් නවීනතම සහ බලසම්පන්න ඇපල් අයිෆෝන් උපාංගය ලෙසටද සමාගම හඳුන්වා දෙයි.

කෙසේ වෙතත් ලොව පුරා ව්‍යාප්තව ඇති COVID-19 වසංගත තත්ත්වය හමුවේ සියලුම ව්‍යාපාර කටයුතු සහ ගනුදෙනු ඇණහිට ඇති පසුබිමක ඇපල් සමාගම මෙම Apple iPhoneSE දුරකතනය එළිදැක්වීම විශේෂත්වයක් ගන්නා බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

අගල් 4.7ක Retina HD තිරයක් සහිත Apple iPhoneSE දුරකතනය වඩාත් සංයුක්ත නිර්මාණයක් ලෙස එළිදක්වා ඇතැයි සඳහන් වෙයි. මෙහිදී ඇපල් සමාගම විසින්ම නිර්මාණය කරන ලද A13 Bionic නම් චිපයකින් මෙම Apple iPhoneSE දුරකතනය බලගැන්වී තිබේ. මෙම චිපය මෙතෙක් ස්මාට් දුරකතන සඳහා හඳුන්වා දුන් වඩාත් වේගවත්ම චිපය ලෙසින්ද සැලකෙයි.

කෙසේ වෙතත් මෙම Apple iPhoneSE දුරකතනය සතුව ඇත්තේ එක් කැමරාවක් පමණකි. මෙය ඇපල් අයිෆෝන් දුරකතනයක් සතුව එක් කැමරාවක් පමණක් ඉදිරිපත් වූ එකම අවස්ථාව ලෙසද සැලකෙයි. මෙම දුරකතනය දූවිලි සහ ජලයෙන්ද ආරක්ෂා කරගත හැකි ලෙස නිමවා තිබේ. එහිදී මීටරයක් ගැඹුරු ජලයේ විනාඩි 30 ක කාලයක් දුරකතනය ආරක්ෂා වී පවතී.

හෙට (අප්‍රේල් 17) දිනයේ සිට මෙම නවතම Apple iPhoneSE දුරකතනය මිලදී ගැනීම සඳහා ඇනවුම් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. කළු, සුදු සහ රතු යන අලංකාර වර්ණ තුනකින් මෙම ස්මාට් දුරකතනය ඉදිරිපත් කෙරෙන බව ඇපල් සමාගම පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇපල් සමාගමේ ලෝක ව්‍යාප්ත අලෙවි අංශයේ ජ්‍යෙෂ්ට උප සභාපති ෆිල් ෂිලර්, “පළමු පරම්පරාවේ Apple iPhoneSE දුරකතනය පාරිභෝගිකයන් අතර ඉතා හොඳින් ජනප්‍රිය වුණා. එහි කුඩා බව, අධි වේගවත් බව මෙන්ම එහි මිල ඊට හේතුව වී තිබුණා. මේ දෙවැනි පරම්පරාවේ Apple iPhoneSE දුරකතනය මේ සෑම අංශයකින්ම වඩාත් දියුණු වූ අවස්ථාවක්. මෙහි පවතින කැමරා පද්ධතිය ඉතා ගුණාත්මක මට්ටමේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ අලුත්ම Apple iPhoneSE දුරකතනය පාරිභෝගිකයන් අතට පත්වෙන තුරු අපි ඇගිලි ගනිමින් ඉන්නේ.” යනුවෙන් පවසා ඇත.

Apple iPhoneSE දුරකතනයේ බැටරිය සතුව ඉතා හොඳ ආරෝපණ කාලයක්, බලයක් සහ කාර්යක්ෂමතාවක් පවතින බවත් ඇපල් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 50