නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයේ පොළිය අඩු වෙයි, බෝග වැඩි වෙයි

නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයේ පොළිය අඩු වෙයි, බෝග වැඩි වෙයි

බෝග වර්ග 36ක් ඉලක්ක කරගනිමින් නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (New Comprehensive Rural Credit Sheme) ලෙස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජය කටයුතු යොදා තිබේ. අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනයක් මගින් මෙම ණය ක්‍රමය පිළිබඳව අනාවරණය කර සිටියි.

මෙහිදී බෝග වර්ග 36ක් සඳහා 4%ක පොළී අනුපාතයකට රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබා ගැනීමේ හැකියාව පවතී. රාජ්‍ය බැංකු හරහා පමණක් මෙම ණය සදහා ඉල්ලුම් කළ හැකි අතර, ණය ආපසු ගෙවීමේ කාලය මාස 9ක් ලෙසත් සඳහන් වෙයි.

ණය මුදල් හිමි වන බෝග වර්ග අතර වී, මිරිස්, ලූණු, කව්පි, මුංඇට, උඳු, සෝයා, කුරක්කන්, බඩඉරිගු, රටකජු, තල, සූරියකාන්ත, අල, බතල, මඤ්‍ඤොක්කා, කිරි අල, එළවලු, වම්බටු, බණ්ඩක්කා, බීට්, බෝංචි, ගෝවා, කැරට්, මාලු මිරිස්, තක්කාලි, ලීක්ස්, රාබු, නෝකෝල්, කරවිල, පතෝල, වට්ටක්කා, වැටකොලු, ඉගුරැ සහ උක් යනාදිය ඇතුළත් වී තිබේ.

මේ අතර නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ සෞභාග්‍යා ගෙවතු වැඩසටහන සඳහාද එක් ගෙවත්තකට ඉහත භෝග වගාව සඳහා රුපියල් 40,000ක උපරිමයකට යටත්ව 4%ක පොළියකට රාජ්‍ය බැංකු මගින් ණය ලබාදීමටද මහ බැංකුව අනුමැතිය හිමිව ඇතැයි අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

මෙහිදී එම ණය වෙනුවෙන් රජයෙන් ගෙවනු ලබන ණය සහනාධාරය 5%ක් වන අතර, ණය ලබන්නාගේ පොළිය 4%කි.

වඩා වැඩි බෝග ප්‍රමාණයක් ආවරණය වන පරිද්දෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද මෙම සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය 2006-2009 කාලසීමාවේදී හඳුන්වාදී තිබේ. එම අවස්ථාවේදී බෝග වර්ග 34ක් සඳහා මෙම ණය පහසුකම හිමි විය. කෙසේ වෙතත් මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අය කරගත් පොළිය 7%ක් විය.

Visits: 74