කොරෝනා පාලනයට කොරියානු තාක්ෂණ ආයතනය සහ මොරටුව සරසවිය එක්ව ව්‍යාපෘති 13 ක්

කොරෝනා පාලනයට කොරියානු තාක්ෂණ ආයතනය සහ මොරටුව සරසවිය එක්ව ව්‍යාපෘති 13 ක්

ඔරුගොඩවත්ත පිහිටි කොරියානු තාක්ෂණ අධ්‍යාපන ආයතනය (K-Tech) හා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් කොරෝනා පාලනයට ව්‍යාපෘති 13ක් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව එම ආයතන පවසයි.

සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මෙන්ම රට නැවත යථා තත්ත්වයට පත් කිරීමේදී අනුගමනය කළ යුතු දෑ සඳහා සහාය ලබා දීමට මෙම ව්‍යාපෘති 13 ක්‍රියාත්මක කෙරෙයි.

ඒ අනුව, වෛද්‍ය උපකරණ නිර්මාණය කිරීම, රෝගීන්ගේ අසලට නොගොස් රොබෝ තාක්ෂණය යොදා ගනිමින් රෝගියාගේ දත්ත ලබා ගැනීම, නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයන් ගේ හැසිරීම නිරීක්ෂණය කිරීම, ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් නිරෝධායන මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීම, නිරෝධායන මධ්‍යස්ථානයකින් යම් පුද්ගලයෙක් පලා ගිය හොත් එම පුද්ගලයා සිටින තැන නිරීක්ෂණය කිරීම, වෛද්‍ය ක්ෂේත්‍රයේ භාවිත කෙරෙන උෂ්ණත්වමාන නිෂ්පාදනය කිරීම හා ඒවා අඩු මිලට මිලදී ගැනීමට පහසුකම් සලසා දීම, විෂබීජහරණය සදහා මධ්‍යසාර ඉසීම සහ  ඇදිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල  හා නිරෝධායන ප්‍රදේශවල රෝගීන් සිටි නම් ඔවුන් හඳුනාගැනීම යනාදී ක්‍රියාකාරකම් මෙම ව්‍යාපෘති හරහා බලාපොරොත්තු වේ.

මේ ව්‍යාපෘති මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවරුන් 10 දෙනෙකුගේ පමණ දායකත්වය යටතේ දියත් කෙරෙන අතර ඇතැමුන් නිවෙස්වල සිටිමින්ද මෙම ව්‍යාපෘති නිර්මාණ කටයුතු වලට සහය ලබා දෙන බව සඳහන් වෙයි. ඒ අනුව මෙම ව්‍යාපෘති හා සම්බන්ධව 30කට ආසන්න පිරිසක් සිටින බවත් පැවසෙයි.

මේ අතරින් උෂ්ණත්වමාන නිෂ්පාදනය කිරීම හා ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ප්‍රදේශ අධීක්ෂණය කිරීමේ ව්‍යාපෘති මේ වනවිට අවසන් අදියරේ ක්‍රියාත්මක වන අතර ඒවායේ පරීක්ෂණ කටයුතු නුදුරු දිනයකදී සිදු කිරීමට බලාපොරොත්තු වන බව කොරියානු තාක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන විදානපතිරණ මහතා පවසා සිටියි.

Visits: 150