ජාතික රූපවාහිනියේ සා.පෙළ/උ.පෙළ අධ්‍යාපන වැඩසටහන් සඳහා ගුරුවරුන් 1.000ක්?

ජාතික රූපවාහිනියේ සා.පෙළ/උ.පෙළ අධ්‍යාපන වැඩසටහන් සඳහා ගුරුවරුන් 1.000ක්?

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් තවදුරටත් පාසැල් වසා දැමීම නිසා නිවෙස්වල රැඳී සිටින අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සිසුන් සඳහා දිනය පුරාම ක්‍රියාත්මක විශේෂිත අධ්‍යාපන වැඩසටහන් පෙළක් ඉදිරිපත් කිරීමට ජාතික රූපවාහිනිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු යොදා තිබේ.

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී පළමුවාරය වෙනුවෙන් වසා දැමුණු පාසල් දෙවැනි වාරය වෙනුවෙන් අප්‍රේල් 20 වැනිදා යළිත් විවෘතවීමට නියමිතව තිබුණි. එහෙත් රට තුළ තවමත් පවතින තත්ත්වය හේතුවෙන් එය මැයි 11 වැනිදා දක්වා කල් දැමීමට බලධාරීන් තීරණය කර ඇත.

මේ තත්ත්වයත් සමගම 2020 වසරේ අ.පොස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා මුහුණදීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා මෙම වැඩසටහන් සංවිධානය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම වී ඇත. එහිදී සෑම දිනකම අලුයම 5.00 සිට රාත්‍රී 11.00 දක්වා මෙම වැඩසටහන් විකාශය කෙරෙන අතර, ඒවා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් නිෂ්පාදනය වෙන බවත් පැවසෙයි.

මේ යටතේ අලුයම 5.00 සිට පස්වරු 5.00 දක්වා කාලයේ වැඩසටහන් අපොස සාමාන්‍ය පෙළ සඳහාද, සවස 5.00 සිට 11.00 දක්වා කාලය උසස් පෙළ සිසුන් සඳහාද වෙන් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය වෙත පවසා ඇත. එහිදී සිංහල සහ ඉංග්‍රීසි භාෂා වැඩසටහන් චැනල් අයි නාලිකාවෙන්ද, දෙමළ භාෂා වැඩසටහන් නේත්‍රා නාලිකාව හරහාද විකාශය වීමට නියමිතව ඇත.

දැනටමත් මෙම වැඩසටහන් පැවැත්වීම සඳහා සුදුසු ගුරුවරුන් 1,000ක් පමණ හඳුනාගෙන ඇතැයිද පවසන ලේකම්වරයා, මෙරට ජාත්‍යන්තර පාසල් සිසුන්ටද සුදුසු වන ලෙස මෙම වැඩසටහන් සකස් කරන බවත් පවසා ඇත.

Views: 142