LOLC අලුත් අවුරුද්දේදී ඩොලර් මිලියන 422ක් මෙරටට රැගෙන එයි

LOLC අලුත් අවුරුද්දේදී ඩොලර් මිලියන 422ක් මෙරටට රැගෙන එයි

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් හිමි LOLC සමූහය විදේශයන්හි පැවැති සිය වත්කම් විකුණා ලැබුණු ඩොලර් මිලියන 422ක මුදලක් මෙරටට රැගෙන ඒමට කටයුතු යොදා ඇතැයි  පවසයි.

සිංගප්පූරුවේ පිහිටි එම සමූහයේ LOLC ඉන්ටර්නැෂනල් සමාගමට අයත්ව කාම්බෝජයේ PRASAC Microfinance සමාගම තුළ තිබූ 70%ක කොටස් ප්‍රතිශතය පසුගිය ජනවාරි මාසයේදී අලෙවි කිරීමෙන් ලැබුණු පළමු මුදල හිමිවීමත් සමගින්ම මෙම තත්ත්වය උදා වී තිබේ.

මෙම PRASAC Microfinance සමාගම කාම්බෝජයේ පිහිටි විශාලතම ක්ෂුද්‍රමූල්‍ය සමාගම වන අතර, දකුණු කොරියාවේ KB Kookmin Bank සමාගම එම කොටස්වල ගැනුම්කරුවා බවට පත්ව තිබේ.

එහිදී ඩොලර් මිලියන 603ක අවසන් එකඟතාවකට මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, එහි පළමු මුදල් ලැබීම ලෙස මෙම ඩොලර් මිලියන 422ක මුදල හිමිව තිබේ. ඉතිරි මුදල ලබන 2022 වසරේදී ලැබීමට නියමිතව ඇතැයි LOLC සමාගම නිවේදනයක් මගින් පවසයි.

ඒ අනුව මෙම ගනුදෙනුව LOLC වෙත පමණක් නොව ශ්‍රී ලංකාවටද වැදගත් අවස්ථාවක් බව බව සමාගම පවසයි. විශේෂයෙන්ම නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටින මෙවන් වකවානුවක, මෙම ගනුදෙනුව හරහා මෙරටට ගලා එන විදේශ මුදල් ප්‍රමාණය ඉතා වැදගත් බවද සමාගමේ අදහස වී තිබේ.

LOLC සමූහය 2007 වසරේදී සිදුකළ මෙම PRASAC Microfinance හි කොටස් මිලදී ගැනීම එම සමාගමේ පළමු විදෙස් ආයෝජනය ලෙසද සැලකෙයි. සිංගප්පූරුවේ පිහිටි LOLC ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම හරහා මෙම ආයෝජනය සිදු කර තිබේ.

ඒ අනුව වසර 12ක කාලයකට පසුව LOLC සමූහය තමන් සතු වූ එම කොටස් අලෙවි කිරීමට තීරණය කළ අතර, එම ගනුදෙනුව අවසන් කිරීම සඳහා අලෙවිකරුවා සහ ගැනුම්කරුවාගේ නියාමකයන් වන කාම්බෝජයේ ජාතික බැංකුව සහ දකුණු කොරියාවේ මූල්‍ය සේවා කොමිසමේ අනුමැතියද හිමිව තිබුණි.

LOLC  සමූහය මේ වනවිට මියන්මාරය, පිලිපීනය, ඉන්දුනීසියාව, සැම්බියාව හා නයිජීරියාව යන රටවල් දක්වා සිය මූල්‍ය ව්‍යපාර ව්‍යාප්ත කිරීමට සමත්ව ඇතැයි පවසයි. එසේම කාම්බෝජයේ ක්‍රියාත්මක LOLC හි තවත් අනුබද්ධ සමාගමක් වන LOLC කාම්බෝජියා පීඑල්සී සමාගම එරට සිව්වැනියට විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමද වන බව LOLC  සමූහය පවසයි.

Visits: 463