කොත්මලේ හෝල්ඩිංග්ස් කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට යයි

කොත්මලේ හෝල්ඩිංග්ස් කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට යයි

මෙරට මුල් පෙළේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඉදිරියේදී කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. අද වනවිට මෙම සමාගම කාර්ගිල්ස් සමූහයට අයත් කාර්ගිල්ස් කොලිටි ඩේරීස් පෞද්ගලික සමාගම යටතේ පවතින්නකි.

කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් ලෙස 2019 අගෝස්තු මාසය අවසන් වන විටත් අවම මහජන කොටස්හිමිකරුවන් ප්‍රමාණයක් පවත්වාගෙන යාමට සහ අවම මහජන කොටස් හිමිකම් ප්‍රතිශතයක් පවත්වාගෙන යාමට අපොහොසත්වීම යන කාරණා හේතුවෙන් මෙලෙස කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බව කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ.

ලැයිස්තුගත සමාගම් වෙත අදාළ රීති අංක 7.13.1(a) යටතේ මෙම මහජන කොටස් හිමිකරුවන් සංඛ්‍යාව සහ එහි ප්‍රතිශතය පිළිබඳව කරුණු ඇතුළත්ව තිබේ. ඒ අනුව කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළ දෙවැනි පුවරුවේ ලැයිස්තුගතවී තිබුණි. එහිදී මෙවැනි තත්ත්වයක් ඇති කරගැනීම සඳහා වන හේතු කාරණාද කොත්මලේ හෝල්ඩිංග්ස් සමාගම දන්වා ඇත.

ඒ අනුව අද වනවිට සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් 27,365,449.20 ක් ලෙස සටහන්ව ඇති අතර, මහජන කොටස් හිමි ප්‍රතිශතය 0.49% කි. එසේම මහජන කොටස් හිමිකරුවන් ප්‍රමාණය 553 ක් වෙයි. එහෙත් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ප්‍රධාන පුවරුවේ හෝ දිරිසවි පුවරුවේ සමාගම ලැයිස්තුගත කිරීම සඳහා මෙම අවස්ථාවන් කිසිවක් ප්‍රමාණවත් නොවෙයි.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ රීති අංක 7.13ට අනුව අවම මහජන කොටස් හිමි ප්‍රතිශතය (Minimum Public Holding Requirements) පවත්වාගැනීමට අපොහොසත්වන සමාගම් මෙලෙස දෙවන පුවරුවට ඇතුළත් කෙරේ. ප්‍රධාන පුවරුවෙහි මෙම ප්‍රතිශතය 25%ක් වන අතර, දිරිසවි පුවරුවෙහි එය 10%කි.

ඊට පිළිතුරක් ලෙස සිය සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්ගුත කිරීමෙන් ඉවත් කරන ලෙසට තමන් කැමැත්ත ප්‍රකාශ කරන බව කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මෙහිදී දන්වා සිටියි. එසේම ඉන් අනතුරුව සිය සමාගමේ සියලුම මෙහෙයුම් කාර්ගිල්ස් සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සීමාසහිත කාර්ගිල්ස් කොලිටි ඩේරීස් (පෞද්ගලික) සමාගම වෙත  පැවරෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

2019 මාර්තු 31 වැනිදා වනවිට කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 99.34%කම ප්‍රතිශතයක් හිමිව ඇත්තේ කාර්ගිල්ස් කොලිටි ඩේරීස් පෞද්ගලික සමාගම වෙයි. එය කොටස් ප්‍රමාණය ලෙස 31,192,462 කි. එසේම කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී වෙත කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ හිමි කොටස් සංඛ්‍යාව 54,315ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 0.17% කි.

කොත්මලේ නිම්නය ආශ්‍රිතව පිහිටි පතන, බෝගහවත්ත ප්‍රදේශයේදී 1967 වසරේදී Lambretta (Ceylon) ලෙස මෙම කොත්මලේ හෝල්ඩිංග්ස් සමාගම ආරම්භ  විය. එහි මුල් හිමිකරුවන් වන්නේ ෂාෆ්ටර් පවුලයි. එය කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී ලෙස හැඳින්වුණි. 2010 වසරේදී කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී හි පරිපාලිත සමාගමක් වන කාර්ගිල්ස් කොලිටි ෆුඩ්ස් විසින් රුපියල් මිලියන 900කට එහි 73%ක කොටස් ප්‍රමාණයක් තමන් සතු කර ගැනීමට සමත්වීමත් සමගම එය කාර්ගිල්ස් සමාගම  යටතට පත්විය.

එසේම 2014 වසරේ මාර්තු මාසය අවසන් වන විට කාර්ගිල්ස් සමාගම කොත්මලේ හෝල්ඩිංග්ස් සමාගමේ  කොටස් තවදුරටත් මිලට ගනිමින් තමන් සතු සම්පූර්ණ කොටස් ප්‍රතිශතය 94.69%ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය. අද වනවිට කාර්ගිල්ස් කොලිටි ඩේරීස් (පෞද්ගලික) සමාගම හරහා එම ප්‍රතිශතය 99.34% ක් බවට පත්ව තිබේ.

මේ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළෙහි නියාමකයා වන විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව විසින් 2014 වසරේ ජනවාරි 1 වැනිදා සිට හඳුන්වා දුන් නව රීති යටතේ එහි ප්‍රධාන ලැයිස්තුවෙහි ලැයිස්ගුත සමාගම් වෙත පැවතිය යුතු මූලික අවශ්‍යතා සහ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත සමාගම්හි පැවතිය යුතු මූලික අවශ්‍යතා පිළිබඳව සඳහන් කිරීමක් සිදුවිය. එම අවස්ථාවේදීද ලැයිස්ගුතවීමෙන් ඉවත් වීමට සූදානම් වන සමාගම් අතර කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පැවතියත් එය මෙතෙක් සිදුවී නොතිබුණි.

අද වනවිට කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත අනුබද්ධිත සමාගම් ලෙස කොත්මලේ ඩේරි ප්‍රඩක්ට්ස් (පෞද්ගලික) සමාගම, සීමාසහිත කොත්මලේ මිල්ක් ප්‍රඩක්ට්ස් සමාගම, සීමාසහිත කොත්මලේ මිල්ක් ෆුඩ්ස් සමාගම සහ සීමාසහිත කොත්මලේ ප්‍රඩක්ට්ස් යන සමාගම් පවතී.

Views: 456