කාර්ගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට හදිසි ‘SMS’ පණිවුඩයක්

කාර්ගිල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට හදිසි ‘SMS’ පණිවුඩයක්

කාර්ගිල්ස් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙත අදාළ වන ගෙවීම් සම්බන්ධයෙන් සඳහන් කරමින් එම බැංකුව සියලුම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට අද පෙරවරුවේදී හදිසි කෙටි පණිවුඩයක් එවා ඇතැයි ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙත වාර්තා වෙයි.

ඒ අනුව දැනට COVID-19 වසංගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය නිසා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට එල්ලවන බලපෑම අවම කිරිම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, දැනට සිය බැංකුවේ පරිගණක පද්ධතිය හරහා පැමිණෙන ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් පිළිබඳ SMS මතක් කිරීම් නොසලකා හරින ලෙසත් එම පණිවුඩයේ සඳහන් වෙයි.

පසුගිය දින කිහිපයේදීම කාර්ගිල්ස් බැංකුවේ මෙම SMS පණිවුඩ සේවාව හරහා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙත අදාළ වාරික ගෙවීම පිළිබඳව වරින් වර මතක් කිරීම් සිදු කළ බව වාර්තා වෙයි. එහෙත් රටෙහි පවතින තත්ත්වය අනුව මෙම ගෙවීම් සිදු කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කාර්ගිල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ද සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම රට තුළ පවතින කාර්ගිල්ස් බැංකු ශාඛා සහ ATM/CDMA යන්ත්‍ර සීමාසහිත වීමත්, රාත්‍රී 10 දක්වාම ගෙවීම් සිදුකළ හැකිව තිබූ කාර්ගිල්ස් සුපිරි වෙළෙඳ සැල් බොහෝමයක් ඇඳිරි නීතිය නිසා පාරිභෝගිකයන්ට විවෘත කර නොතිබීමද ගැටලුවක්ව පවතී.

එසේම කාර්ගිල්ස් වෙළෙඳ සැල් තුළ ගෙවීමේ පද්ධති අකර්මණ්‍ය කර ඇති බවත් ඒ හේතුවෙන් මේ වනවිට කිසිදු ආකාරයක බිල්පත් ගෙවීමක් ඒ හරහා සිදුකළ නොහැකි තත්ත්වයක්ද පවතින බවත් කාර්ගිල්ස් වෙළෙඳ සැල්  හරහා සිදුකළ විමසීමේදී ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ වෙතද දැනගන්නට ලැබුණි..

මේ අතර පසුගිය සඳුදා දිනයේදී සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙත බැංකුවේ වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කළ කාර්ගිල්ස් බැංකුව, රටෙහි පවතින තත්ත්වය අනුව සලකා බලා 2020 අප්‍රේල් 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා යම් සහනදායී ක්‍රියාමාර්ග කිහිපයක් බැංකුව විසින් පිරිනමන බව සඳහන් කර තිබුණි.

ඒ අනුව සියලුම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පමාවූ ගෙවීම් සඳහා ගාස්තු අයකරගැනීම් අප්‍රේල් 1 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක නොවීමට තීරණය කෙරී ඇත.

එසේම අප්‍රේල් 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රෙඩිට් කාඩ්පත්හි අවම ගෙවීමේ මුදල 5.0% සිට 2.5% දක්වා අඩු කිරීමක්ද සිදුව තිබේ. එහෙත් මෙම අයකිරීම් දැනටමත් සකස් කෙරී ඇති ක්‍රෙඩිට් කාඩ් බිල්පත සඳහා වලංගු නොවන බව බැංකුව  පවසයි.

මීට අමතරව ණය සීමාව රුපියල් 50,000ක් සහ ඊට වඩා පහළ මට්ටමේ පවතින සියලුම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන මාසික අවම ගාස්තු ගෙවිය යුතු දිනය 2020 මාර්තු 23 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා දිගු කිරීමටත් බැංකුව කටයුතු යොදා ඇත.

මෙම සහනවලට අමතරව ඉදිරියේදී ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා ලබා දෙන තවත් සහන පිළිබඳවද තොරතුරුද ඉදිරියේදී බැංකුව ලබා දෙන බව මෙම නිවේදනයේ සඳහන් කෙරී ඇත.

Visits: 51