චීනයේ නිෂ්පාදිත මුහුණු ආවරණ ගැන ෆින්ලන්තයෙනුත් චෝදනා

චීනයේ නිෂ්පාදිත මුහුණු ආවරණ ගැන ෆින්ලන්තයෙනුත් චෝදනා

COVID-19 වසංගතය අවස්ථාවේදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ භාවිතයට ගැනීම සඳහා චීනයෙන් ඇනවුම් කළ ශල්‍ය මුහුණු ආවරණ සහ ආශ්වාසක මුහුණු ආවරණවල ප්‍රමිතිය පිළිබඳව ගැටලු ඇතැයි ෆින්ලන්ත රජය පවසා සිටියි.

එරට වෙත පසුගියදා චීනයෙන් ලැබුණු මෙවැනි මුහුණු ආවරණ තොගයක් පිළිබඳව සිදුකළ පරීක්ෂාවේදී ඒවා නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා සුදුසු ප්‍රමිතියෙන් තොර බවට ඔප්පු වීමත් සමග ෆින්ලන්ත රජය මේ බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය අඟහරුවාදා දිනයේදී මෙම මුහුණු ආවරණ තොගයේ පළමු කොටස ෆින්ලන්තයේ ෆින්එයාර් ගුවන් සේවයට අයත් යානයක් මගින් චීනයේ ගුආන්ග්සොයු පළාතේ සිට ෆින්ලන්තයේ හෙල්සින්කි ගුවන් තොටුපොළ වෙතට රැගෙන විත් ඇත.

මෙම ඇනවුම යටතේ ෆින්ලන්තය චීනයෙන් ශල්‍ය වෛද්‍යවරුන් භාවිත කරන ආකාරයේ මුහුණු ආවරණ ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් සහ ආශ්වාසක ආවරණ 230,000ක් ඉල්ලුම් කර තිබී ඇත.

එහිදී එම භාණ්ඩ තොගය භාරගෙන ඇති ෆින්ලන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරිය වන අයිනෝ-කායිසා පෙකොනෙන්, එම අවස්ථාවේදී ලබා ගත් ඡායාරුප කිහිපයක් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කරමින් මෙම භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳව මුල්ම චෝදනාව එල්ල කර තිබේ.

බදාදා දිනයේදී ඊට අදාළ පරීක්ෂාවක් සිදු කර ඇති අතර මෙම එකදු මුහුණු ආවරණයක් හෝ කිසිදු රෝහල් පරිසරයක් තුළ කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂාවක් බලාපොරොත්තුවෙන් භාවිත කිරීමට තරම් ප්‍රමාණවත් ඒවා නොවන බව පැහැදිලි වී ඇතැයි ෆින්ලන්ත රජය  පවසයි.

ඒ අනුව මෙය තමන් දැඩි කළකිරීමට පත් කළ අවස්ථාවක් බව ෆින්ලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබේ. කෙසේ වෙතත් මෙම මුහුණු ආවරණ තොගය එරට සාමාන්‍ය ජනතාවට සිය නිවෙස්වලදී සහ එදිනෙදා කටයුතුවලදී නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා යොදා ගත හැකි අවස්ථාව සම්බන්ධයෙන් විමසා බලන බව ලේකම්වරයා පවසා ඇත.

චීනයේ ආශ්වාසක මුහුණු ආවරණ නිෂ්පාදන කර්මාන්තශාලාවක්

වාර්තාවලට අනුව COVID-19 වසංගතය ව්‍යාප්තවෙමින් පවතින ෆින්ලන්තය තුළ එක් දිනකදී පමණක් මෙම ශල්‍ය මුහුණු ආවරණ ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන බවත්, ආශ්වාසක මුහුණු ආවරණ 50,000ක් පමණ අවශ්‍ය වන බවත් ගණන් බලා තිබේ. දැනටමත් ඇතැම් ප්‍රදේශවල මේවා හිඟතාවක් පවතින බවත් වාර්තා වෙයි.

මීට පෙරද යුරෝපා රාජ්‍යයන් ඇතුළු ලොව රාජ්‍යයන් කිහිපයක්ම තමන් ඇනවුම් කළ චීනයේ නිෂ්පාදිත මුහුණු ආවරණ ඇතුළු වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ගැටලු පවතින බව පවසා තිබුණි. ඒ අනුව ඇතැම් රාජ්‍යයන් COVID-19 ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කිරීමට චීනයෙන් රැගෙන ආ අදාළ නිෂ්පාදන භාවිතයෙන් ඉවත්වීමටද පියවර ගෙන තිබුණි. ඒ යටතේ ආසන්න සති කිහිපයේදී ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, තුර්කිය සහ ඔස්ට්‍රේලියාව තමන් ඇනවුම් කළ මුහුණු ආවරණ  තොගයක්ම නැවතත් චීනය වෙත හරවා යවා තිබේ.

චීනයෙන් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මුහුණු ආවරණ ඇතුළු උපකරණ කට්ටල ප්‍රදානය කිරිමක්

Visits: 45