අපි දැන් පුද්ගලික ආරක්ෂක ඇඳුම් නිපදවනවා – බ්‍රැන්ඩික්ස් මූල්‍ය අධ්‍යක්ෂ හසිත ප්‍රේමරත්න

අපි දැන් පුද්ගලික ආරක්ෂක ඇඳුම් නිපදවනවා – බ්‍රැන්ඩික්ස් මූල්‍ය අධ්‍යක්ෂ හසිත ප්‍රේමරත්න

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් කඩා වැටී ගෝලීය ආර්ථිකයේ බලපෑමට ලක්ව ඇති සිය කර්මාන්තය පවත්වාගෙන යාමේ අරමුණින් මේ වනවිට විකල්ප අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කර ඇතැයි බ්‍රැන්ඩික්ස් සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂ හසිත ප්‍රේමරත්න මහතා පවසයි.

විජය පුවත්පත් සමාගමේ DailyFT පුවත්පත සහ කොළඹ විශ්වවිද්‍යාලයේ MBA උපාධිධාරීන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලද ‘Economics of COVID-19’ නම් අන්තර්ජාල සාකච්ඡාවට එක්වෙමින් ඊයේ (09දා) පස්වරුවේදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

ඒ අනුව, මෙතෙක් අපනයනය මට්ටමේ නිමි ඇඳුම් නිපදවීමේ නිරත වූ සිය සමාගම මේ වන විට COVID-19 වසංගතය අවස්ථාවේදී සෞඛ්‍ය අංශ මගින් භාවිත කරන පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල නිපදවීම සහ මුහුණු ආවරණ නිපදවීම පිළිබඳව අවධානය යොමු කර ඇතැයි හසිත ප්‍රේමරත්න මහතා මෙහිදී පවසා ඇත.

මෙම COVID-19 වසංගතය හේතුවෙන් කඩාවැටී ඇති ගෝලීය ආර්ථිකය හේතුවෙන් දරුණු පහරක් වැදී ඇති කර්මාන්ත ක්ෂේත්‍ර අතර ඇගලුම් කර්මාන්තයත් පවතින බව ඔහු පෙන්වා දෙයි. එසේම එය බලාපොරොත්තු නොවූ සහ වඩාත් දරුණු අවස්ථාවක් බවත් ඔහුගේ අදහස වී ඇත.

එහිදී මෙය ඉතාමත් කෙටි කලකින් ඇති වුණු ආපදා තත්ත්වයක් වීම නිසා සමාගමක් ලෙස පවත්වාගෙන ආ අවිනිශ්චිත අවස්ථා සඳහා මුහුණ දීමේ සැලසුම් සියල්ලද නිෂ්ඵල වූ බවත් ඔහු සඳහන් කර තිබේ.

“යුරෝපයේත්, ඇමෙරිකා එක්සත් ජනපදයේත් වෙළෙඳ පොළ වසා දැමීම නිසා තමයි අපිට අපේ අපනයන වෙළෙඳ පොළ අහිමි වෙලා තිබෙන්නේ. දැන් අපි ග්‍රීෂ්ම ඍතුව සඳහා ලැබෙන්න තිබුණු ඇනවුම් අත්හැරලා තියෙන්නේ. දැන් අපි මූලිකවම අවධානය යොමු කරලා තියෙන්නේ ලබන මැයි සිට සැප්තැම්බර් දක්වා එන ශීත ඍතුවේ ඇනවුම් වෙතයි.” ප්‍රේමරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කරන ආකාරයට ඇගලුම්කර්මාන්තයේ විවිධ ක්ෂේත්‍ර වෙත මෙම ආර්ථික කඩාවැටීමෙන් එල්ල වන බලපෑම විවිධාකාර වෙයි. එහිදී පැහැදිලිවම මෙම භාණ්ඩ නිෂ්පාදන අංශය තුළ ජයග්‍රාහකයන් සහ පරාජිතයන් හඳුනාගන්නට හැකි වෙනු  ඇතැයිද ඔහු පවසයි. එසේම පවතින මේ තත්ත්වයත් සමගින්ම ඉල්ලුමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, එය ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළතදී කිසි ලෙසකින්වත් යළි ප්‍රකෘතිමත් නොවනු ඇති බවත් ඔහු සඳහන් කර සිටියි.

මේ අතර දැනට පවතින තත්ත්වය තවදුරටත් එලෙසින්ම පැවැතියහොත් වැටුප් කප්පාදු මෙන්ම රැකියා අහිමිවීම්ද සිදුවීමේ අවස්ථාවක් පවතින බවද හසිත ප්‍රේමරත්න මහතා පවසා සිටියි. “යම් අර්බුදයකදී ප්‍රධාන වෙන්නේ මුදල්. ඒ නිසා අපි මේ මුදල් ගලායාම ආරක්ෂා කරගන්න වෙනවා.” ඔහු සඳහන් කරයි. එහිදී සිය ප්‍රධාන මූලිකත්වය ආරක්ෂාව වෙත හිමි වන බවත්, දෙවැනි මූලිකත්වය සිය කාර්ය මණ්ඩලයේ ආදායම් සුරක්ෂිතතාව බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Views: 115