සිලෝන් ඩිස්ටලරීස් අරක්කුවලින් අත් පිරිසිදුකාරක නිපදවයි

සිලෝන් ඩිස්ටලරීස් අරක්කුවලින් අත් පිරිසිදුකාරක නිපදවයි

මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිපදවීමේ සමාගමක් වන සිලෝන් ඩිස්ටලරීස් සමාගම සිය රොක්ලන්ඩ් ඩිස්ටලරීස් (පෞද්) සමාගම යටතේ අත් පිරිසිදු කාරක ‘හෑන්ඩ් සැනිටයිසර්’ නිපදවීමක් සිදු කරන බව පවසයි. මෙහිදී රොක්ලන්ඩ් අරක්කු නිපදවන පොල් ස්ප්‍රීත්තු යොදා ගනිමින් මෙම අත් පිරිසිදුකාරක දියර නිපදවන බව පවසයි.

සුරාබදු නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම අත් පිරිසිදුකාරක දියර නිපදවෙන බව සමාගම පවසයි.  එසේම රොක්ලන්ඩ් අරක්කු බෝතල්වල බහා සීල් තබා ඉදිරිපත් කෙරෙන මෙම දියර වෙළෙඳ පොළේ අලෙවිය සඳහා නොව මුල්ලේරියාව බෝවන රෝග පිළිබඳ වෛද්‍ය ආයතනය (IDH) සහ කොළඹ ජාතික රෝහලේ භාවිතය සඳහා පමණක් නිකුත් කරන බවත් සඳහන් වෙයි. එහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම කටයුතු සිදු වී තිබේ.

දැනට රට තුළ ව්‍යාප්තව පවතින COVID-19 වසංගතය පාලනය සඳහා තමන්ට උදව් ලබා දිය හැකි කවර හෝ ක්‍රමයකින් මෙලෙස සහාය දැක්වීමට හැකිවීම සම්බන්ධයෙන් ආඩම්බරයට පත්වන බවද සිලෝන් ඩිස්ටරලීස් සමාගම පවසයි. ඒ අනුව එහි පළමු තොගය ඊයේ එම රෝහල් වෙත භාරදී තිබේ. ඒවා රෝහලේ ජ්‍යෙෂ්ට වෛද්‍ය කාර්ය මණ්ඩලය යටතේ ආරක්ෂිතව තබා ඇති බවත් සමාගම පවසයි.

“අපගේ රෝහල්වල සිටින නිර්භීත වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත අපට උදව් කිරීමට හැකි ඉතාමත් සුළු අවස්ථාවක් තමයි මේ. ඉදිරියේදී සිලෝන් ඩිස්ටලරීස් සමාගම ලෙස රෝහල් වෙත තවදුරටත් ආධාර ලබා දීමට අප සූදානම්.” යනුවෙන්ද සමාගම පවසා සිටියි.

රොක්ලන්ඩ් සන්නාමය යටතේ ඉදිරිපත් කෙරෙන මෙම අත් පිරිසිදුකාර බෝතල්වල සඳහන් අන්දමට ඒවා කිසිදු විටෙකත් පානය කිරීමට සුදුසු නොවන අතර, බාහිරව භාවිත කිරීම සඳහා පමණක් යොදා ගත හැකිය. මෙහි ඇති ඇල්කොහොල් ප්‍රතිශතය 70%ක් ලෙසත් සඳහන් වෙයි. රොක්ලන්ඩ් ඩිස්ටලරීස් (පෞද්ගලික) සමාගම මගින් නිපදවා ඇති මෙම අත් පිරිසිදුකාරක දියර නිපදවූ 2020 අප්‍රේල් මාසයේ සිට 2021 අප්‍රේල් දක්වා වසරක කල් ඉකුත්වීමේ කාලයක්ද පවතී.

Visits: 65