ගෙවතු දස ලක්ෂයක් වගා කරන ‘සෞභාග්‍යා ගෙවත්ත’

ගෙවතු දස ලක්ෂයක් වගා කරන ‘සෞභාග්‍යා ගෙවත්ත’

ලොව පුරා ව්‍යාප්ත වන COVID-19 වසංගතය හමුවේ මෙරට ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව ලබා දීමේ අරමුණින් රට තුළ ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කර ඇතැයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන හරහා ගෙවතු දස ලක්ෂයක් වගාකිරීම රජයේ අරමුණ වී ඇති අතර, එය ‘සෞභාග්‍යා ගෙවත්ත’ ලෙස නම් කර තිබේ. එම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද දිනයේදී මෙම කරුණු අනාවරණය කළේය. මෙම වැඩසටහන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යන ආයතන දායකත්වය ලබා දී තිබේ.

මෙහිදී බීජවර්ග 5කින් යුත් බීජ පැකැට්ටුවක් සහ ඊට අවශ්‍ය උපදෙස් පත්‍රිකාවක් රුපියල් 20කට ලබා දීමට සැලසුම් වී තිබේ. එසේම වර්ග තුනකින් යුත් එළවලු පැළ සහිත බඳුනක් රුපියල් 20ක මිලකට සුදුසු පරිදි කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා ජනතාවට ලබාදීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන ඉලක්ක කරගනිමින් දැනටමත් www.saubagya.lk නමින් වෙබ් අඩවියක්ද අරඹා ඇති අතර, ඒ වෙත පිවිසීමෙන් ගෙවතු වගාව සඳහා අවශ්‍ය බීජ සහ පැළ ඇනවුම් කළ හැකි බවත් පවසයි. එසේම අවශ්‍ය උපදෙස්ද ඒ හරහා ලබා ගැනීමේ අවස්ථාව පවතී. ඊට අමතරව තමන්ගේ අදහස් අන්‍යයන් සමග බෙදා ගැනීම මෙන්ම තමන් සතු යෝජනාද මේ හරහා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා තිබේ.

මීට අමතරව දැනට ආනයනික බෝග 14ක් රට තුළ ප්‍රවර්ධනය කිරීමේ දීප ව්‍යාප්ත ජාතික වැඩපිළිවෙළක් ලබන අප්‍රේල් 04 වනදා ආරම්භ කිරිමට නියමිත බව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Views: 236