ජෝන් කීල්ස් ෆවුන්ඩේෂන් වෙතින් IDH රෝහලට අණුක වෛරස අධ්‍යයන විද්‍යා පරීක්ෂණාගාරයක්

ජෝන් කීල්ස් ෆවුන්ඩේෂන් වෙතින් IDH රෝහලට අණුක වෛරස අධ්‍යයන විද්‍යා පරීක්ෂණාගාරයක්

ජෝන් කීල්ස් සමූහයට අයත් ජෝන් කීල්ස් ෆවුන්ඩේෂන් (John keels Foundation) සහ සවුත් ඒෂියන් ගේට්වේ ටර්මිනල් (SAGT) හා ඩොයිෂ් බැංකුව (Deutsche Bank) එක්ව, මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH – National Institute of Infectious Diseases) රෝහල තුළ නවතම අණුක වෛරස අධ්‍යයන විද්‍යා පරීක්ෂණාගාරයක් (Molecular Virology Laboratory) පිහිටුවීම සඳහා අරමුදල් දායකත්වයක් ලබා දුන් බව ජෝන් කීල්ස් ෆවුන්ඩේෂන් පවසයි.

තාවකාලික පරිශ්‍රයක් වන මෙය ඊයේ (මාර්තු 29දා) සිට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ වී තිබේ. මේ හරහා මෙරට තුළ COVID-19 ආසාදනය පිළිබඳව පරීක්ෂා කිරීම් ඉක්මණින්ම සහ වැඩි ප්‍රමාණයකින් සිදු කිරීමේ  හැකියාව ලැබෙන බව පැවසෙයි. විශේෂයෙන්ම මෙලෙස වැඩි පරීක්ෂා කිරීම් ප්‍රමාණයක් ඉක්මණින් සිදු කිරීමේ පහසුකම් සහිත පරිශ්‍රයක අවශ්‍යතාව IDH රෝහල වෙතද ඒ වනවිටත් තිබී ඇත.

මේ දක්වා අදාළ පරීක්ෂා කිරීම් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI – Medical Research Institute) වෙත රැගෙන ගොස් සිදු කර තිබේ. ඒ අනුව මෙම නව පරීක්ෂණාගාරය හරහා මෙම දරුණු බෝවීමක් සහිත වෛරසය ඇතුළත් සාම්පල තවදුරටත් පැතිරීමකින් තොරව හැකි ඉක්මණින්ම ඉවත් කිරීමේ හැකියාව මෙන්ම එම සාම්පල ප්‍රවාහනය කිරීමද වැළැකෙන බව සඳහන් වෙයි.

එසේම පරීක්ෂාවෙන් පසුව ආසාදිත නොවන බවට අනාවරණය වන්නන් හැකි ඉක්මණින්ම IDH රෝහලෙන් පිට කිරීමේ පහසුකමද මේ හරහා ලැබෙන බවත් ජෝන් කීල්ස් ෆවුන්ඩේෂන් සඳහන් කරයි.

Views: 80