ට්‍රම්ප්ගේ ඩොලර් ට්‍රිලියන 1.8 සහන පැකේජය ඩිමොක්‍රැටික් පක්ෂය අනුමත නොකරයි

ට්‍රම්ප්ගේ ඩොලර් ට්‍රිලියන 1.8 සහන පැකේජය ඩිමොක්‍රැටික් පක්ෂය අනුමත නොකරයි

නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය හේතුවෙන් මේ වනවිට කඩා වැටී ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් සෙනෙට් මණ්ඩලය වෙත ගෙන ආ සහන පැකේජය අනුමත නොකිරීමට එහි ඩිමොක්‍රැටික් පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

මෙම පැකේජය හරහා නව කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක්ව සිටින වැඩකරන ජනතාව ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් දායකත්වයක් ලබා දී නොමැති බව ඩිමොක්‍රැටික් පක්ෂයේ චෝදනාව වී තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී සෙනෙට් මණ්ඩලයේ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් විසින් මෙම ඓතිහාසික සහන පැකේජය සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදි. මේ හරහා සුළු ව්‍යාපාරවල සිට මහා පරිමාණ සමාගම් දක්වා වන සහන ඉදිරිපත් කර ඇතැයි සඳහන් වෙයි.

එසේම විරැකියාවෙන් පෙලෙන්නන් සඳහා දින 39ක් සඳහා වන රක්ෂණ ක්‍රමයක් සහ ඇමෙරිකානුවන් වෙත ඍජුවම ඩොලර් බිලියන 250ක් බෙදී යන ආකාරයක්ද එහි සඳහන්ව තිබුණි. මීට අමතරව එරට සෑම අයෙකුටම එක් වරක් පමණක් හිමිවන ඩොලර් 3,000ක මුදලක්ද මීට ඇතුළත්ව ඇත.

කෙසේ වෙතත් මෙම යෝජනාවලට එරෙහි වී ඇති ඩිමොක්‍රැටික් පක්ෂ සෙනෙට් මන්ත්‍රීවරුන් මෙලෙස කෙටි කාලීන යෝජනාවලට වඩා දිගු කාලීන සැලැස්මක් අවශ්‍යව ඇතැයි පවසා ඇත.

එරට මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම සහන පැකේජයේ සමස්ත වටිනාකම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.8ක් හෝ ඊට වැඩි විය හැකි බව ගණන් බලා තිබේ.

අද පෙරවරුව වන විට එක්සත් ජනපදයේ සෑම ප්‍රාන්තයකදීම COVID-19 ආසාදිතයන් 33,420 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, මරණ 417ක් වාර්තා වී තිබේ.

Views: 36