රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ e-learning පහසුකම

රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ e-learning පහසුකම

මෙරට තුළ COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් සියලු විශ්වවිද්‍යාල වසා දමා ඇති අවස්ථාවේදී රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් වෙත නොමිලේ අන්තර්ජාලය  හරහා e-learning පහසුකම ලබාදීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ මෙරට දුරකතන සේවා සපයන්නන් සියලු දෙනා සමග එක්ව මෙම කටයුතු සම්බන්ධීකරණය කර තිබේ.

ඒ අනුව අද (මාර්තු 23) දිනයේ සිට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන්ට සිය විශ්වවිද්‍යාලය විසින් සපයා දී ඇති e-learning වෙබ් අඩවි සම්බන්ධතාවලට නොමිලේම පිවිසිය හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

එහිදී දැනට ඇති සිය ඩේටා පැකේජවලින් දත්ත වැයවීමකින් තොරව සියලුම ප්‍රධාන දුරකතන සේවා සපයන්නන් හරහා e-learning පහසුකම් වෙත පිවිසිය හැකි බවද කොමිෂන් සභාව වැඩි දුරටත් පවසා සිටියි.

මෙම සහනය රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් සපයා ඇති e-learning වෙබ් අඩවි පරිහරණට පමණක් සීමා වන බවත්, මෙම අසීරු කාලපරිච්ඡේදය තුළ නිවසේ සිට අධ්‍යයන කටයුතුවල නිරතවීමට ලබා දෙන පහසුකමක් බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.  

Visits: 30