පෙරේරා ඇන්ඩ් සන්ස් සිය බිත්තර සහ කේක් ආරක්ෂක අංශ සහ අයි.ඩී.එච්. රෝහලට දෙයි

පෙරේරා ඇන්ඩ් සන්ස් සිය බිත්තර සහ කේක් ආරක්ෂක අංශ සහ අයි.ඩී.එච්. රෝහලට දෙයි

සියයට සියයයක් දේශීය බේකරි නිෂ්පාදන සමාගමක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම සිය කේක් නිෂ්පාදන සහ එම කේක් නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ වෙත සහ මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහල වෙත ප්‍රදානය කළ බව පවසයි.

COVID – 19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ වර්තමානයේදී හට ගෙන ඇති තත්ත්වය පිළිබඳව සලකා බලා එය මැඩපැවැත්වීම වෙනුවෙන් සිය ශ්‍රමය කැප කරන යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ වෙනුවෙන් දක්වන උපහාරයක් ලෙස මෙම ප්‍රදානය සිදු කළ බව පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව බිත්තර, අල වැනි කේක් සහ අනෙකුත් බේකරි අයිතම නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මෙන්ම කේක් සහ පාන වර්ග ඇතුළු නිෂ්පාදන රැසක් මෙහිදී පොලිසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාව වෙත ලබා දී තිබේ. එසේම දැනට COVID – 19 ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සිදු කරන මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහල වෙතත් මෙම නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය ලබා දීමක් සිදු කර තිබේ.

මෙම ප්‍රදානයන්ට අමතරව මහරගම අපේක්ෂා රෝහලටද තමන් සිය නිෂ්පාදන ලබා දීමක් සිදුකළ බවත් පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම සඳහන් කරයි.

මේ අතර, COVID – 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටෙහි පවතින වත්මන් තත්ත්වය සලකා බලා, රජය දැනට ප්‍රකාශයට පත් කර ඇති ක්‍රමවේදයට අනුකූල වෙමින් නැවත දැනුම් දෙන තුරු සිය අලෙවි සැල් සියල්ල වසා තැබෙන බවත් පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම සඳහන් කරයි.

Visits: 53