ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් “රත්ති යෝගට්” යළි හඳුන්වා දෙයි

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් “රත්ති යෝගට්” යළි හඳුන්වා දෙයි

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පෞද්ගලික සමාගමේ පිටි කළ කිරි සන්නාමයක් වන “රත්ති” යටතේ යළිත් වරක් “යෝගට්” නිෂ්පාදනයක් මෙරට වෙළෙඳ පොළට හඳුන්වාදී ඇතැයි “ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා” වෙත වාර්තා වෙයි. 

පසුගිය සතියේදී සිදුකළ මෙම නවතම හඳුන්වාදීම කාර්ගිල්ස් ෆුඩ්සිටි ජාලා සඳහා පමණක් සිදු කිරීමත් විශේෂත්වයකි.

“රත්ති” – දේශීය කිරි යහගුණයෙන් ලෙස සඳහන් කරමින් වෙළෙඳ පොළට ඉදිරිපත් කර ඇති මෙම යෝගට් නිෂ්පාදනය දැනට වෙළෙඳ පොළේ ඇති අනෙකුත් යෝගට්වලට වඩා රසයෙන් වැඩි බව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පෞද්ගලික සමාගම පසුගිය සති අන්තයේ පුවත්පත් දැන්වීම් හරහාද සඳහන් කර තිබුණි.

මෙම නවතම “රත්ති යෝගට්” නිෂ්පාදනය ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පෞද්ගලික සමාගමේ “ඇන්කර් නිව්ඩේල්” යෝගට් නිෂ්පාදනයේ ඇසුරුම හා එක සමාන වෙයි. 

එහිදී ඇන්කර් නිව්ඩේල් නිෂ්පාදන අංශය යටතේම මෙම රත්ති නිෂ්පාදනය සිදු කරන බවත්, ඇන්කර් නිව්ඩේල් හා සාපේක්ෂව වැඩි රසයක් මෙහි පවතින බවත් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රවර්ධන නිලධාරියෙකු අප හා පවසා සිටියේය.

ග්‍රෑම් 80ක සෙට් යෝගට් නිෂ්පාදනයක් වන මෙය රුපියල් 40කට මිල කෙරී තිබේ. මෙහි කල් ඉකුත්වීමේ කාලසීමාව මාසයකුත් දින හතරකි. එම කාලසීමාවද ඇන්කර් නිව්ඩේල්හි කල් ඉකුත්වීමේ කාලසීමාව හා සමානය.

මීට පෙර 2011 වසරේදීද රත්ති සන්නාමය යටතේ යෝගට් නිෂ්පාදනයක් හඳුන්වාදීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පෞද්ගලික සමාගම කටයුතු යොදා තිබේ. 

2008 වසරේදී එම සමාගම මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සිදුකළ රුපියල් බිලියන 1.2ක ආයෝජනයක් යටතේ මෙම යෝගට් නිෂ්පාදනයට අත ගැසීමට එම සමාගම ඉදිරිපත් විය.

එම කාලසීමාවේදී මෙරට තුළ යෝගට් පරිභෝජනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 12,000ක් බවත් සමාගම සඳහන් කර තිබුණි. ඒ අනුව 2008 වසරේ සිට 2011 දක්වා වූ වසර තුනක කාලසීමාවේදී සිය ඇන්කර් සන්නාමයට අමතරව රත්ති සන්නාමය යටතේද විවිධාංගීකරණය වූ නිෂ්පාදන ඉදිරිපත් කරමින් සිය ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරගැනීම  ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පෞද්ගලික සමාගමේ අදහස වූ බව පැවසෙයි. 

ඒ සඳහා මෙරට කිරි නිෂ්පාදනයත් දිනකට ලීටර් 52,000 ක් දක්වා වර්ධනය කරගැනීම වෙනුවෙන් තමන්ට කිරි සපයන කිරි ගොවීන් සංඛ්‍යාව 3,000ක් දක්වා වර්ධනය කරගැනීමත් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පෞද්ගලික සමාගමේ අපේක්ෂාව විය.

එම අවස්ථාවේදී වෙළෙඳ පොළට ආ රත්ති යෝගට් නිෂ්පාදනයේ ඇසුරුම, ඒ වන විටත් වෙළෙඳ පොළේ තිබූ ඇන්කර් නිව්ඩේල් යෝගට් ඇසුරුම හා සමානය. වෙනස වූයේ එහි ඇසුරුමේ වර්ණය පමණකි. 

කෙසේ වෙතත් වෙළෙඳ පොළ පැවැති තරගකාරීත්වයත් අනුව වසර කිහිපයකින් පසුව “රත්ති යෝගට්” නිෂ්පාදනය නැවැත්වීමට සමාගමට සිදු විය. ඒ අනුව යළිත් වරක් “රත්ති” යෝගට් මෙරට වෙළෙඳ පොළට පැමිණ ඇත්තේ වසර හතකට පමණ පසුවයි.

මේ වන විට මෙරට වෙළෙඳ පොළ තුළ යෝගට් සන්නාම 8කට ආසන්න සංඛ්‍යාවක් පවතී. හයිලන්ඩ් යෝගට්, ඇන්කර් නිව්ඩේල් යෝගට්, සීඅයිසී ක්‍රීමෝ යෝගට්, කොත්මලේ යෝගට්, රිච්ලයිෆ් යෝගට්, අඹේවෙල යෝගට්, පැල්වත්ත යෝගට්, චෙලෝ යෝගට් සහ ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට් එම සන්නාම වෙයි. 

ඒ අතරින් වැඩිම අලෙවියක් ඇත්තේ හයිලන්ඩ් යෝගට් නිෂ්පාදන වෙතයි. මීට අමතරව තවත් සුළු පරිමාණ නිෂ්පාදකයන්ගේ යෝගට් නිෂ්පාදනද මේ වනවිට වෙළෙඳ පොළේ ඇත. මීට වසර කිහිපයකට පෙර ලකී යෝගට් ලෙස නිෂ්පාදනයක් ඉදිරිපත් කළ ලකී ලංකා සමාගම මේ වනවිට සිය නිෂ්පාදන නවත්වා තිබේ.

ඒ අනුව අලුතින් හඳුන්වාදුන් රත්ති යෝගට් වෙත දැඩි තරගයක් ලබාදීමට සිදු වෙනු ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. එහිදී දැනටමත් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පෞද්ගලික සමාගම සතු ඇන්කර් සහ රත්ති සන්නාමවල ගුණාත්මක භාවය පිළිබඳව ජනතාව අතර පවතින ගැටලුකාරී තත්ත්වය හේතු වෙනු ඇතැයිද සඳහන් වී තිබේ.

Views: 273