ආයුර්වේද ඖෂධ වෙත ඉල්ලුම ඉහළට

ආයුර්වේද ඖෂධ වෙත ඉල්ලුම ඉහළට

මෙරට තුළ COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමත් සමග ජනතාව වැඩි වශයෙන් ආයුර්වේද ඖෂධ හරහා ප්‍රතිශක්තිකරණ සහ විෂබීජනාශක ක්‍රම වෙත යොමුවෙමින් සිටින බව “ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා” වෙත වාර්තා වෙයි.

ඒ අනුව ඊයේ දිනය තුළදී මෙන්ම අද පෙරවරුවේදීද බොහෝ පිරිසක් නගරවල පිහිටි ආයුර්වේද ඖෂධ අලෙවි සැල්වලින් විවිධ ඖෂධ වර්ග මිලදී ගැනීමේ යෙදී සිටින ආකාරයද දැකගත හැකිය. 

විශේෂයෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවද නිල වශයෙන් මෙම COVID-19 වෛරසයෙන් වැළැකීම සඳහා භාවිත කළ යුතු ආයුර්වේද ඖෂධ වර්ග සහ විෂබීෂහරණය සඳහා ධුමායනයට සුදුසු ඖෂධ වර්ග නම් කිරීමත් ඊට හේතුව වී ඇත.

මේ වනවිට එම දැනුවත් කිරීම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රසිද්ධියට පත් කර ඇත. පසුගිය පෙබරවාරි මාසය ආරම්භයේ පටන්ම එම දෙපාර්තමේන්තුව මෙම සේවාව ජනතාව වෙත ලබා දී සිටියි.

“පෙරේදා ඉදන් තමයි වැඩි දෙනෙක් මේ ආයුර්වේද බෙහෙත් මිලදී ගන්න යොමු වුණේ. අද වෙන කොට එන ප්‍රමාණය වැඩියි.” පිළියන්දල පිහිටි ආයුර්වේද ඖෂධ අලෙවි සැලක සේවයේ යෙදී සිටි අයෙකු පවසා සිටියේය. 

කෙසේ වෙතත් මෙහිදී වැඩි දෙනෙකුගේම ඉල්ලුම සහිත ආයුර්වේද ඖෂධය බවට පෙරුම්කායම් පත්ව තිබෙන අතර, ඖෂධ අලෙවි සැල් කිසිවකදීවත් මේ වන විට පෙරුම්කායම් සොයා ගැනීමට නොමැති තත්ත්වයක්ද උදා වී තිබේ. ඊට විකල්පය ලෙස අලෙවි සැල් බොහෝමයක්ම පාරිභෝගිකයන්ට වද කහ හඳුන්වා දෙමින් සිටියි.

එසේම වෙනිවැල්ගැට සඳහාද මේ වනවිට ජනතාව අතර ඉහළ ඉල්ලුමක් හට ගෙන ඇත. මීට අමතරව විෂබීජ නාශක ධූම වර්ග සඳහා යොදා ගන්නා විවිධ අමුද්‍රව්‍යය අලෙවියද ඉහළ ගොස් ඇතැයි ආයුර්වේද ඖෂධ අලෙවි සැල් පවසා සිටියි.

“ගොඩක් දෙනෙක් පත්පාඩගම් පැකට් වගේම, ගෙදරදීම කසාය තම්බා ගන්න ඕන කරන වෙනිවැල්ගැට, කටුවැල්බටු, තිප්පිලි වගේ ඖෂධ වර්ග අරගෙන යනවා.” ඖෂධ අලෙවි සැල් සේවකයෙකු පවසා සිටියේය.

Views: 105