යුනියන් ඇෂුවරන්ස් සන්නාමය යළි වෙනස් වෙයි

යුනියන් ඇෂුවරන්ස් සන්නාමය යළි වෙනස් වෙයි

වසර 30කට අධික කාලයක් පුරා මෙහෙයුම් සිදු කරන මෙරට ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී යළිත් වරක් සිය සන්නාමය වෙනස් කිරීමකට ලක් කර තිබේ. පෙරේදා දිනයේ පටන් මෙම සන්නාම වෙනස සිදු වුණු බව සමාගම පවසයි.

ඒ අනුව මෙතෙක් පැවැති තැඹිලි සහ අලු පැහැයෙන් යුත් දම්වැලක පුරුකක් නිරූපිත සන්නාමය වෙනුවට තද තැඹිලි පැහැති අර්ධ කව දෙකක් එකතු වීමෙන් සැකසෙන කවයකින් මෙවර සන්නාමය නිර්මාණය වී තිබේ. එහිදී යුනියන් ඇෂුවරන්ස් යන වදන නිරූපිත අක්ෂර මෝස්තරයද සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමකට ලක්ව ඇති අතර, ඊට යටින් විශේෂයෙන්ම මෙය ජෝන් කීල්ස් සමාගමට අයත්වූවක් බව සඳහන් කර තිබේ.

මෙම නව සන්නාමය හරහා “ආරක්ෂාව” සංකේතවත් වන බව යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී පවසයි. එහිදී තම සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ සිහින යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා අවශ්‍ය සහාය සහ මැදිහත්වීම සිදු කරන බව ඔවුන් සඳහන් කරයි. “Your Life. Our Strength” යන උපදේශ වාක්‍යයෙන් මෙය ඉදිරිපත්ව ඇත.

විශේෂයෙන්ම “ජීවන විලාසිතා ආරක්ෂා කිරීම” යන්න හරහා ජනතාවට උපරිමයෙන්ම ජීවිත විඳීමට අවස්ථාව සලසා දෙන බවත්, “සබඳතා ආරක්ෂාකිරීම” හරහා ජීවිතවල ආරක්ෂාව මෙන්ම ආදරනීයයන්ගේ අනාගතය ආරක්ෂා කිරීමක් සිදුවන බවත්, “බලාපොරොත්තු ආරක්ෂා කිරීම” මගින් සිය ජීවිත සාර්ථක කරගැනීම සඳහා ජනතාව සතු සිහින සහ ඉලක්ක සාර්ථක කරගැනීමේ අවස්ථාවක් උදා කරවන බවත් යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී පවසයි.

1987 වසරේදී පිහිටවුණු යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සතුව මේ වනවිට වසර 33කට ආසන්න අත්දැකීම් සහිත බව සමාගම පවසයි. එසේම දිවයින පුරා 110කට අධික ශාඛා ජාලයක්, 4,000කට අධික ක්ෂේත්‍ර අලෙවි බලකායකින් සමන්විත බවත් සමාගම සඳහන් කරයි.

2009 වසරේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම යුනියන් ඇෂුවරන්ස් පීඑල්සීහි කොටස් අතරින් 81%ක් මිලදී ගැනීමත් සමගම එය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට අයත් විය. අද වනවිට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සතු යුනියන් ඇෂුවරන්ස්හි කොටස් ප්‍රතිශතය 90% කි. 

ඒ වනවිටත් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ලෙස කොටස් දෙකකින් රක්ෂණ සේවා සලසමින් සිටි යුනියන් ඇෂුවරන්ස් සමාගම සිය සාමාන්‍ය රක්ෂණ මෙහෙයුම් ෆෙයාර්ෆැක්ස් ඒෂියා සමූහයට අලෙවි කිරීම 2015 වසරේදී සිදු විය. අද වනවිට එම සමාගමේ 22%ක හිමිකාරීත්වයක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම සතුව පවතී.

යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සිය සන්නාමය වෙනස් කළ තෙවැනි අවස්ථාවද මෙයයි. 1987 වසරේ පටන් පවත්වාගෙන ආ සන්නාමය 2010 වසරේදී වෙනස් කිරිමකට ලක්විය. 

Views: 217