මෙරට මුහුදේ තෙල් කාන්දු වැළැක්වීමේ පෙරහුරුවක් පැවැත්වෙයි

මෙරට මුහුදේ තෙල් කාන්දු වැළැක්වීමේ පෙරහුරුවක් පැවැත්වෙයි

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) මැදිහත්වීමෙන් ලබා දුන් තාක්ෂණික සහයෝගිතාව යටතේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පසුගියදා මෙරට මුහුද ආශ්‍රිතව සිදුවිය හැකි තෙල් කාන්දුවක් වළක්වා ගැනීම පිළිබඳ පෙරහුරුවක නිරත වී තිබේ.

මෙම දෙපාර්ශ්වය එක්ව වාර්ෂිකව සිදුකරන මෙම පෙරහුරුව මෙවර සංවිධානය වී ඇත්තේ පස්වැනි වරටයි. පසුගිය පෙබරවාරි 18 වැනිදා සිට 27 වැනිදා දක්වා මෙම පෙරහුරුව පැවැත්වී ඇත. මේ සඳහා ජපාන වෙරළාරක්ෂක බලකායේ විශේෂඥයන් පස් දෙනෙකු සහභාගි වී තිබේ. 

විශේෂයෙන්ම ලෝකයේ නැගෙනහිරත් බටහිරත් සම්බන්ධ කරමින් දිවෙන සාගර ගමන් මාර්ගයේදී ශ්‍රී ලංකාව පිහිටා ඇති ට්‍රාන්ස්-ඉන්දියන් මුහුදු යාත්‍රා ගමන් මාර්ගය ඔස්සේ මෙරටට ආසන්න මුහුදු සීමාවෙන් දිනපතාම පාහේ බොහෝ ජාත්‍යන්තර නෞකා ප්‍රමාණයක් යාත්‍රා කිරීමත්, ඒ හරහා එල්ල වන අවදානමත් සලකා බලා මෙවැනි පෙරහුරුවක් සිදු කිරීම අරඹා තිබේ. 

මෙම නෞකා ගමන් වාරවලදී ඇති විය හැකි යම් අනතුරක් හේතුවෙන් සිදුවන තෙල් කාන්දුවක් නිසා සාගර පරිසරයට මෙන්ම ශ්‍රී ලංකාවේ ධීවර සහ සංචාරක කර්මාන්තය වෙත දැඩි බලපෑම් එල්ලවන බවට හඳුනාගෙන ඇත. 

ඒ අනුව මෙලෙස ශ්‍රී ලංකාවත් සමගින් පවත්වන සාගරික සහෝගිතාව යටතේ මෙරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවත් සමගින් එක්ව මෙවැනි කටයුත්තක් සිදු කිරීම වැදගත් බවට හඳුනාගත් බව ජයිකා ආයතනය සඳහන් කරයි. 2015 වසරේ සිට ඔවුන් මේ සඳහා දායකත්වය ලබා දෙයි.

මේ අතර, ජපාන රජය මගින් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත 2018 වසරේදී ලබාදුන් අධිවේගී යාත්‍රාව යොදා ගනිමින් බොරතෙල් කාන්දුවක් නිසා ඇති වන ගිනි ගැනීමක් හෝ විෂ වායු පිටවීමක්  පාලනය කරගන්නා ආකාරය පිළිබඳවද මෙම පෙරහුරුව යටතේ පුහුණුවක් ලබා දී තිබේ.

Visits: 29