EDB සභාපති 2020 වසරේ අපනයන ඉලක්ක සාක්ෂාත් කරගැනීම ගැන දෙගිඩියාවක

EDB සභාපති 2020 වසරේ අපනයන ඉලක්ක සාක්ෂාත් කරගැනීම ගැන දෙගිඩියාවක

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 නිසා 2020 වසර සඳහා නම් කර තිබූ ඩොලර් බිලියන 18.5ක අපනයන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ යම් දෙගිඩියාවක් පවතින බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා පවසයි. COVID-19 නිසා මෙරට අපනයන වෙත සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කරමින් හෙතෙම මේ අදහස් පළ කර තිබේ.

“2020 වසර සඳහා වන ඩොලර් බිලියන 18.5ක අපනයන ඉලක්ක සාක්ෂාත් කරගැනීම අසීරු කරුණක් වේවි. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පත්ව තිබුණේ එක්සත් ජනපදයයි. එය එම වසරේ සිදුකළ සම්පූර්ණ භාණ්ඩ අපනයනයෙන් 27% ක්. යුරෝපා සංගමය සඳහා සිදුකළ අපනයන ප්‍රමාණය 30% ක්.” සභාපතිවරයා පවසා ඇත.

ඔහුගේ පුරෝකතනය අනුව මෙම COVID-19 හේතුවෙන් මේ වසරේ දෙවැනි කාර්තුව තුළදී අඩු වන අපනයන ප්‍රතිශතය 25% කි. ඒ අනුව, මෙය මෙරට ආර්ථිකය වෙත ප්‍රබල පහරක් වෙනු ඇතැයි ඔහු පවසයි. මෙහිදී මූලිකවම අපනයන කර්මාන්ත සඳහා වන සැපයුම් දාම වෙත බාධා එල්ල වීම හේතුව බව හඳුනාගෙන ඇත. එහිදී ඇගලුම් කර්මාන්තය ප්‍රධාන වෙයි. 

උදාහරණ ලෙස මෙම වෛරස ව්‍යාප්තිය නිසා අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන රෙදි, කපු, යන්තෝපකරණ සහ උපකරණ, ලෝහ, යකඩ සහ ප්ලාස්ටික් යනාදිය රැගත් නැව් මෙරටට පැමිණීම පමා වෙනු ඇති බවත් ඔහු පවසයි. එහිදී මූලිකවම එම ද්‍රව්‍ය චීනයෙන් ආනයනය කිරීමත් ඒවා නිපදවන චීන කර්මාන්තශාලා මේ වනවිට වසා තිබීමත්, චීනය තුළ ප්‍රවාහන සීමා පැමිණවී තිබීමත් ඊට හේතු වී තිබේ.

එසේම මෙරට අනෙකුත් ප්‍රධාන අපනයන කර්මාන්ත වන තේ, රබර්, පොල් සහ සැකසූ ආහාර කර්මාන්ත වෙතද මෙම COVID-19 වෛරසය දැඩිව බලපා තිබේ.

ශ්‍රී ලංකාවේ තේ ආනයනය කිරීමේ විශාලතම රාජ්‍යයන් ලෙස හඳුනාගෙන සිටි චීනය, හොංකොං සහ කොරියාව මේ වන විට සිය මිලදී ගැනීම් යම් ප්‍රමාණයකින් අඩු කර තිබේ. එසේම පසුගිය වසරේදී මෙරට සිලෝන් තේ සඳහා විශාලතම වෙළෙඳපොළක්ව පැවැති ඉරානයද මෙම වෛරසයේ බලපෑමට ලක්ව ඇත.

මේ අතර පසුගිය සතිය තුළදී මෙරට මුහුදු ආහාර අපනයනය 35% කින් අඩු වී ඇති බව පෙන්වා දෙන සුභසිංහ මහතා, ඉදිරි සතියේදී එම අපනයන 25%කින් අඩු වෙනු ඇතැයි පවසයි. විශේෂයෙන්ම යුරෝපයේ සිටින මෙරට විශාලතම මුහුදු ආහාර ගැනුම්කරුවා වන ඉතාලිය තුළ මෙම COVID-19 වෛරසය දරුණු ලෙස ව්‍යාප්තවී තිබීම ඊට හේතුවයි.

Visits: 63

Leave a Reply

Your email address will not be published. Required fields are marked *