ලංකා බැංකු සේවකයෝ අද සංකේත වැඩ වර්ජනයක?

ලංකා බැංකු සේවකයෝ අද සංකේත වැඩ වර්ජනයක?

ලංකා බැංකුව සඳහා මුදල් අමාත්‍යාංශය විසින් තෝරා පත් කර එවා ඇති නව වැඩ බලන මහා කළමනාකාරවරයාට විරෝධය පළ කිරීම සඳහා අද දිවයිනේ පිහිටි සෑම ලංකා බැංකු ශාඛාවකම සංකේත වැඩ වර්ධනයක් සිදු කරන බව එහි බැංකු ශාඛා සේවක සංගමය සඳහන් කරයි.

ලංකා බැංකුවේ මහා කළමනාකාර ධුරය සඳහා පත් කිරීම් සිදු කිරීමේදී මෙතෙක් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත නොසලකා අමාත්‍ය මණ්ඩල සංදේශයක් හරහා මුදල් අමාත්‍යාංශය මගින් නුසුදුසු පුද්ගලයෙකු පත් කර ඇති බවට එම සංගමය චෝදනා කර සිටියි.

කැබිනට් තීන්දුවට අනුකූලව මහාභාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. ජනාධිපතිවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ ආර්ථික වැඩපිළිවෙලට සහාය ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස නව පත් කිරීම සිදු කර ඇතැයි පැවසෙයි.

කෙසේ වෙතත් දැනට එම තනතුරේ කටයුතු කර ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ටතම නිලධාරියෙකු වූ සෙනරත් බණ්ඩාර මහතා ඉන් ඉවත් කර මෙලෙස නව කළමනාකාරවරයෙකු පත් කර ඇතැයි බැංකු ශාඛා සේවක සංගමය පවසා සිටියි.

මෙම විරෝධය දැක්වීමේ අවස්ථාවක් ලෙස මේ දිනවල ලංකා බැංකු සේවකයෝ සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුම් හරහාද විවිධ අදහස් පළ කර සිටිනු දැකගත හැකිය. “ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කටයුතු සඳහා දේශපාලන අතපෙවීම් නවතනු යනුවෙන් ඔවුන් එහිදී සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය විසින් ලංකා බැංකුව වෙත නම් කරන ලද නව වැඩබලන මහා කළමනාකාරවරයා වන ඩී.පී.කේ. ගුණසේකර මහතා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයට අනුව 2020 මාර්තු 02 වැනිදා සිට එහි වැඩබලන මහා කළමනාකාරවරයා ලෙස තෝරාපත් කරගත් බවද සඳහන්ව ඇත.

මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත කරුණු ස්ථිර කරන ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය, නව සාමාන්‍යාධිකාරිවරයා සතුව බැංකු ක්ෂේත්‍රය තුළ වසර 40කට අධික කාලයක අත්දැකීම් ඇති බව සඳහන් කර සිටියි. එහිදී ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශයන්හිදීද එම අත්දැකීම් පවතින බව පැවසෙයි. 

ඩී.පී.කේ. ගුණසේකර මහතා

1980 වසරේදී ලංකා බැංකුව හා සම්බන්ධ වී ඇති ගුණසේකර මහතා සාංගමික බැංකුකරණය, භාණ්ඩාගාර සහ ජාත්‍යන්තර මෙහෙයුම් යනාදිය සම්බන්ධයෙන් අත්දැකීම් සහිත වූවෙකු බව සඳහන් වෙයි. ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු ලෙස පත්වීමට පෙරාතුව ඒ මහතා ජ්‍යෙෂ්ට නියෝජ්‍ය මහා කළමනාකාර (ජාත්‍යන්තර, භාණ්ඩාගාර සහ ආයෝජන), නියෝජ්‍ය මහා කළමනාකාර (සාංගමික සහ අක්වෙරළ බැංකුකරණ) ලෙසද කටයුතු කර තිබේ.

මීට අමතරව ඒ මහතා චෙන්නායි නුවර පිහිටි ලංකා බැංකු ශාඛාවේ නියෝජ්‍ය කළමනාකාරවරයා ලෙස මෙන්ම එක්සත් රාජධානියේ පිහිටි ලංකා බැංකු ශාඛාවේද රාජකාරි කර තිබේ.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් හිමි ගුණසේකර මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයෙන් ව්‍යාපාර සහ මූල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක්ද, ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයෙන් ව්‍යපාර පරිපාලනය පිළිබඳ උසස් උපාධියක්ද හිමි කර ගෙන තිබේ.

මේ අතර ලංකා බැංකුවේ  ප්‍රධාන විධායක නිලධාරී/මහා කළමනාකාර ලෙස කටයුතු කළ සෙනරත් බණ්ඩාර මහතා 2020 මාර්තු 02 වැනිදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බවටත්, ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.

සෙනරත් බණ්ඩාර මහතා එම ධුරයට පත් වූයේ 2018 වසරේදීය. ඊට පෙර ඔහු ලංකා බැංකුවේ අලෙවි අංශයේ නියෝජ්‍ය මහා කළමනාකාරවරයා ලෙස කටයුතු කර තිබේ. 

මෙම ඉවත් වීමෙන් අනතුරුව ඒ මහතා මහා භාණ්ඩාගාරයේ තනතුරක් සඳහා පත් කිරීමට නියමිතව ඇත. කෙසේ වෙතත් ඒ මහතා නුදුරේදීම විශ්‍රාම යාමට සූදානමින් සිටින බවටත් මාධ්‍ය වාර්තා කරයි.

ලංකා බැංකුවට අමතරව මහජන බැංකුව සඳහාත් නව මහා කළමනාකාරවරයෙකු පත් කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව දැනට මහජන බැංකුවේ මහා කළමනාකාවරයා වන රසිත ගුණවර්ධන මහතා වෙනුවට, කේ.බී. රාපක්ෂ මහතා පත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් මහාභාණ්ඩාගාර ලේකම්වරයාට අවසරය ලබා දී තිබේ.

Visits: 79

Leave a Reply

Your email address will not be published. Required fields are marked *