සුඛෝපභෝගී මගී නෞකා සංචාරකයන්ට මෙරටට ගොඩබැසීම තහනම් කෙරේ

සුඛෝපභෝගී මගී නෞකා සංචාරකයන්ට මෙරටට ගොඩබැසීම තහනම් කෙරේ

සුඛෝපභෝගී මගී නෞකා හරහා පැමිණෙන විදේශීය සංචාරකයන්ට කිසිදු අවස්ථාවකදී මෙරටට ගොඩබැසීමට අවසරය ලබා නොදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව එම නෞකාවට අවශ්‍ය පහසුකම් වරාය තුළින්ම ලබා ගත හැකි ලෙස කටයුතු සකස් කරන බවත් හෙතෙම පවසා සිටියි.

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින “COVID19” වෛරසය මෙවැනි සුඛෝපභෝගී මගී නෞකා සංචාරකයන් හරහා වුවද මෙරටට ඇතුළුවීමේ අවදානමක් පැවතීම මෙම තීරණයට හේතුව වී තිබේ.

විශේෂයෙන්ම මෙවැනි සුඛෝපභෝගී මගී නෞකා හරහා ලොව පුරා සංචාරය කරන්නේ වයස්ගත සංචාරකයන් බවත් ඔවුන් මෙම වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් සහිත පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙරටට ගුවන් මගින් පැමිණෙන සංචාරකයන්ට අමතරව මෙවැනි සුඛෝපභෝගී නෞකා මගින් සාගරය හරහා පැමිණෙන සංචාරකයන්ගේ යම් වර්ධනයක් පසුගිය කාලසීමාවේදී දැකගත හැකි විය. 

ඒ යටතේ පසුගිය පෙබරවාරි මාසය තුළදී පමණක් මෙවැනි සුඛෝපභෝගී මගී නෞකා තුනක්ම මෙරටට පැමිණි බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඉන් එක් නෞකාවක් වූ %සන් ප්‍රින්සස්^ නෞකාව පසුගිය පෙබරවාරි 4 වැනිදා කොළඹ වරායට පැමිණ ඇති අතර “ක්වීන් මේරි 2” නෞකාව පෙබරවාරි 5 වැනිදා පැමිණ තිබේ. එසේම “අර්ටානියා” නම් නෞකාවද පෙබරවාරි 13 වැනිදා කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ.

ප්‍රින්සස් කෘෂ් ෂිපිං ලයින් සමාගමට අයත් සන් ප්‍රින්සස් නෞකාව තායිලන්තයේ පුකෙට් වරායේ සිට මෙරටට පැමිණ ඇත. ඉන් පැමිණි සංචාරකයන් මෙහි රැඳී සිටින දින කිහිපයේදී අකුරැස්ස, බෙන්තොට, හික්කඩුව, මීගමුව, තේ වගාබිම්, මහනුවර දළදා මාලිගාව, ගල්කිස්ස වෙරළ, කොළඹ නගර සංචාරය ඇතුළුව සාප්පු සවාරියේද යෙදුණු බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ක්වීන් මේරි නෞකාව පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයේ සවුතම්ප්ටන් වරායේ සිටයි. ඔවුන්ද පෙර සඳහන් කළ මෙරට සංචාරක ආකර්ෂණය වැඩි ස්ථාන වෙත සංචාරය කිරීමට සමත්ව ඇත.

එසේම ජර්මනියේ සිට පැමිණි අර්ටානියා නෞකාවේ සිටි මගීන්ද මෙරට නැවතී සිටි දින තුනක කාලයේදී මෙම සංචාරක ස්ථාන නැරඹීමට ගොස් ඇත. මෙම අවස්ථා තුනේදීම සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එම නෞකා තුළ සිය තොරතුරු කවුලු විවෘත කරමින් සංචාරකයන්ට පහසුකම් සැලසීමද සිදු කර තිබේ.

Visits: 42

Leave a Reply

Your email address will not be published. Required fields are marked *