මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ගුවන් සමාගම් රැසක් කැමැත්ත පළ කරයි

මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ගුවන් සමාගම් රැසක් කැමැත්ත පළ කරයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යළිත් සිය ගුවන් සේවා ආරම්භ කිරීමට ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක මෙරට කළමනාකරුවන් කැමැත්ත පළ කළ බව සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. 

එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමගින් පසුගියදා පැවැති සාකච්ඡාවකදී එම කළමනාකරුවන් මෙම අදහස් පළ කර තිබේ. ඒ අනුව ඉදිරියේදී සිය සමාගම්හි කළමනාකාරීත්වයට මේ පිළිබඳව දැනුම් දීමටද එම පිරිස් මෙහිදී අමාත්‍යවරයාට එකඟ වී තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ඉන්දීය ගුවන් යානා සමාගමක මෙරට කළමනාකාරවරිය, රත්මලාන – චෙන්නායි අතර ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව පවසා ඇත. එසේම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළටද සිය ගුවන් සේවා ආරම්භ කිරීමට කැමැත්ත පළ කරන බවත් ඇය පවසා තිබේ.

මත්තල හා රත්මලාන ගුවන් තොටුපොළවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹන ලෙසට මෙම සමාගම් වෙත ආරාධනා කිරීම සඳහා අමාත්‍යවරයා මෙම හමුව කැඳවා තිබේ. විශේෂයෙන්ම පසුගියදා පැවැත්වුණු කැබිනට් හමුවේදීද මෙම ගුවන් තොටුපොළ වෙත ගුවන් සේවා ක්‍රියාත්මක කරන සමාගම් වෙත සහන රැසක්ම ලබා දීමට තීරණය කෙරී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අදිකාරියේ සභාපති උපුල් ගුණතිලක, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන  මහත්වරුන්ද සහභාගි වී සිට ඇත.

Visits: 46

Leave a Reply

Your email address will not be published. Required fields are marked *