ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන හිමිකම් සඳහා යළිත් ලංසු කැඳවීමේ තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන හිමිකම් සඳහා යළිත් ලංසු කැඳවීමේ තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරි වසර තුනක කාලයකදී මෙරටදී සහභාගි වන ක්‍රිකට් තරගවල ජාත්‍යන්තර රූපවාහිනි සහ ගුවන් විදුලි සහ ඩිජිටල් විකාශන හිමිකම සඳහා වන ලංසු කැඳවීම යළිත් වරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කරගෙන ඇතැයි Economy & Business Sri Lanka වෙත වාර්තා වෙයි.

පසුගියදා පැවැත්වුණු ලංසු කැඳවීමේ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වූ තරමේ තරගකාරී මුදලක් අදාළ ලංසු තබන්නන් විසින් ඉදිරිපත් නොකිරීම මීට හේතුව වී තිබේ.  

ක්‍රිකට් ආයතනයේ වාර්තා අනුව 2020 අප්‍රේල් 01 සිට 2023 මාර්තු 31 දක්වා වන මෙම වසර තුනක කාලය සඳහා රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශනය වෙනුවෙන් ඉදිරිපත්ව ඇති ඉහළම ලංසුව වන්නේ එක්සත් ජනපද ඩොලර් මිලියන 16කි. එසේම ඩිජිටල් විකාශන හිමිකම සඳහා ඉහළ ලංසුව ඩොලර් මිලියන 6 කි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යවරයාගේද අනුමැතිය යටතේ විකාශන හිමිකම් සඳහා පමණක් යළිත් වරක් ලංසු කැඳවීමට තීරණය කර ඇත. 

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී තරගාවලි නිෂ්පාදනය සඳහා යළිත්වරක් ලංසු කැඳවීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 4.1ක ලංසුවක් ඉදිරිපත්ව ඇති අතර, එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ටෙන්ඩර් ඇගයීමේ කමිටුව සෑහීමකට පත් කිරීමට සමත්ව තිබීම ඊට හේතුවයි.

මෙතෙක් එම ජාත්‍යන්තර රුපවාහිනි සහ ගුවන් විදුලි විදුලි විකාශන හිමිකම ලබා ගෙන සිටින සෝනි පික්චර්ස් නෙට්වර්ක් සමාගමට අයත් Tensports නාලිකාවේ හිමිකම මාර්තු මාසය අවසන්වීමත් සමගින් නිමාවට පත්වෙයි. 

එම සමාගම ගිවිසුම්ගතව සිටින වසර 10ක විකාශන හිමිකම් කාලසීමාව යටතේ ඔවුන් නිෂ්පාදනය කර විකාශය කරනු ලබන අවසන් ක්‍රිකට් තරග මාලාව ලබන මාර්තු 19 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයයි.

මෙවර පැවැති මෙම ලංසු කැඳවීමේ අවස්ථාවෙන් සෝනි පික්චර්ස් නෙට්වර්ක් සමාගම අවසන් මොහොතේ ඉවත්වීමත් සමගම ඉතිරි වූ Lex Sportel Vision පෞද්ගලික සමාගම සහ Lex  Entertainment and Media පෞද්ගලික සමාගම මෙම ලංසු ප්‍රමාණය ඉදිරිපත් කර ඇත. මෙම සමාගම් මේ වනවිට Dsport සහ 1sport ලෙස ක්‍රීඩා නාලිකා දෙකක් පවත්වාගෙන යයි. 

ඉතාමත්  මෑතකදී ආරම්භ කෙරුණු මෙම සමාගම් දෙක මෙතෙක් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග විකාශයක් සිදු නොකර තිබීමත්, විකාශන හිමිකම ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට නොහැකිවීමත් යන කාරණා මෙලෙස ඉතාමත් අඩු ලංසු ප්‍රමාණයක් ඉදිරිපත්වීමට හේතුව වී ඇත.

ඒ අනුව මෙම රූපවාහිනි, ගුවන් විදුලි සහ ඩිජිටල් විකාශන හිමිකම් සඳහා වන කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ඒ සඳහා සුදුසුකම් සහිත සමාගම් වෙත ඊයේ දිනය තුළදී යළිත් ආරාධනා කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබුණි.

මෙම අවස්ථාවේදී සෝනි පික්චර්ස් නෙට්වර්ක් සමාගමට අමතරව ස්ටාර් ඉන්දියා (පෞද්ගලික) සමාගම යන මෙම කලාපයේ විකාශන දැවැන්තයන් ඊට ඉදිරිපත් වෙනු ඇතැයි එම ආයතනය බලාපොරොත්තු තබා තිබේ.

මෙම නව රූපවාහිනි, ගුවන් විදුලි සහ ඩිජිටල් විකාශන හිමිකම් පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේදී සංවිධානය කෙරෙන පළමු තරගාවලිය ලබන මැයි මාසයේදී ආරම්භවීමට නියමිතව ඇත. එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙරටට පැමිණෙන අතර, පසුව ඉන්දියාව සහ බංග්ලාදේශයද මෙරට තරග සංචාරයේ යෙදීමටද නියමිතව තිබේ.

Visits: 55

Leave a Reply

Your email address will not be published. Required fields are marked *