මෙරට පළමු අපද්‍රව්‍ය මගින් විදුලිය නිපදවන බලාගාරය ඉදිකිරීම් අවසන් අදියරේ

මෙරට පළමු අපද්‍රව්‍ය මගින් විදුලිය නිපදවන බලාගාරය ඉදිකිරීම් අවසන් අදියරේ

ශ්‍රී ලංකාවේ පළමුවරට ඉදි කෙරෙන කසල අපද්‍රව්‍ය මගින් විදුලිය නිපදවන බලාගාරයේ ඉදිකිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව Economy & Business Sri Lanka වෙත වාර්තා වෙයි. 

මුතුරාජවෙල ආශ්‍රිතව මෙම නව බලාගාරය ඉදි කෙරෙමින් පවතී. ලබන මැයි මාසය වන විට එහි ඉදිකිරීම් සියල්ල අවසන් කර, වානිජ මෙහෙයුම් සිදු කිරීම සැලසුම වී තිබේ.

එයිට්කන් ස්පෙන්ස් සමූහයේ (Aitken Spence Group) සාමාජික වෙස්ටර්න් පවර් කම්පැනි පෞද්ගලික සමාගම මගින් මෙම විදුලි බලාගාරය ඉදි කෙරේ. මෙම නව බලාගාරය මගින් කොළඹ මහනගර සීමාව තුළදී එක් රැස් වෙන මෙට්‍රික් ටොන් 500ත් 700ත් අතර ප්‍රමාණයකින් මෙගාවොට් 10ක විදුලියක් නිපදවීම අරමුණ වී ඇත.

මෙම කසල අපද්‍රව්‍ය විදුලිය බවට පත් කිරීමේ බලාගාරය වසරකට පැය 7,500 ක කාලයක් ක්‍රියාත්මක කිරීම සැලසුම බව එම සමාගම සඳහන් කරයි. එහිදී විදුලි බලය බවට හැරවීම සඳහා භාවිත කරන අපද්‍රව්‍ය ප්‍රමාණය රාත්තල් 1,500,000ක් එනම් මෙට්‍රික් ටොන් 700කි. මේ හරහා කොළඹ මහ නගර සීමාව තුළ පවතින කසල ගැටලුව නිරාකරණය වෙනු ඇතැයි අපේක්ෂාව වී ඇත.

මෙම බලාගාරයේ වාණිජ මෙහෙයුම් ඇරඹීමෙන් අනතුරුව ඒ හරහා ලංකා විදුලිබල මණ්ඩලයට මෙගාවොට් 9.7ක විදුලිබලයක් අලෙවි කිරීම සැලසුම බව එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

අද වනවිට කොළඹ නගර සභා සීමාව තුළ එකතු වන කසල අපද්‍රව්‍ය අතරින් 86% ක් ම විවෘත භූමියේ බැහැර කිරීම සිදුවන අතර 6%ක් කොම්පෝස්ට් පොහොර සෑදීමටත් 4%ක් ප්‍රතිචක්‍රීයකරණයටත් යෙදවෙන බව පැවසෙයි. මෙම අපද්‍රව්‍ය විදුලි බලය නිපදවීම සඳහා අවස්ථා කිහිපයකදීම විදෙස් සමාගම් ඉදිරිපත් වුවද ඒවා සියල්ල විවිධ හේතු නිසා අසාර්ථක වුණි.

Visits: 92

Leave a Reply

Your email address will not be published. Required fields are marked *