කොළඹ වරාය නගරයට තවත් මාස හයකින් කෘත්‍රිම වෙරළක්

කොළඹ වරාය නගරයට තවත් මාස හයකින් කෘත්‍රිම වෙරළක් 

කොළඹ  වරාය නගරය ලොව පිළිගත් පරිසර කළමනාකරණ ක්‍රමවේදයන් අනුව සකස් කිරීමේ මූලික අදියරක් ලෙස එහි කෘත්‍රිම වෙරළක් ඉදිකිරීම සඳහා වන කටයුතු මේ වන විට සකස් කෙරෙමින් පවතින බව “Economy & Business Sri Lanka” වෙත වාර්තා වෙයි. 

මෙම කෘත්‍රිම වෙරළ ඉදිකිරීම හරහා ජනතාවට වරාය නගරයේ අනෙකුත් වාණිජ ඉදිකිරීම් සිදු කිරීමට පෙරාතුව එහි ඇවිදිමින් කල් ගත කිරීමේ අවස්ථාව උදා වන බව පැවසෙයි. නුදුරේදීම ඇරඹෙන මෙම කටයුතු ලබන අගෝස්තු මාසයේදී අවසන් කරන බව කොළඹ වරාය නගරයේ පරිසර කළමනාකරණ සැලසුම් කමිටුවේ ප්‍රධානී ඩබ්ලිව්.ඒ.ඩී. විජේසූරිය මහතා පවසයි.

සැලසුම්වලට අනුව මෙම කෘත්‍රිම වෙරළ කිලෝමීටර් 1.5ක් පමණ දිග මීටර් 50ක් පමණ පළල වෙයි. මෙය ගාලු මුවදොර පිටියේ සිට පාලමක් මගින් සම්බන්ධ කෙරෙන බව සඳහන් වී තිබේ.

විශේෂයෙන්ම කොළඹ වරාය නගර භූමිය තුළ අනාගතයේදී ඉදිකිරීමට සැලසුම් කර ඇති යාත්‍රාංගණය සඳහා සුදුසු වන ලෙස එහි පිහිටුවා ඇති දියකඩනය හේතුවෙන් මෙම වෙරළ තීරය වඩාත් ආරක්ෂිත ස්ථානයක් වන බවටත් විජේසූරිය මහතා සඳහන් කරයි.

“මේ දියකඩනය නිසා කෘත්‍රිම වෙරළ ඉදිරිපස තියෙන සාගරය වඩාත් සංසුන් සාගරයක් බවට පත්වේවි. ඒ නිසාම එය මුහුදේ දියනෑම ඇතුළු විනෝදාස්වාදන අංග සඳහා වඩාත් සුදුසු වේවි.”

මීට අමතරව කොළඹ වරාය නගරයේ සමස්ත භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 269න් ශ්‍රී ලංකා රජය වෙත හිමිව ඇති හෙක්ටයාර 62ක භූමි ප්‍රමාණය අතරින් මහජන අවකාශ සඳහා වෙන්ව ඇති ප්‍රදේශය තුළ උද්‍යාන පරිශ්‍රයක් සහ හරිත කලාපයක් ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන්ද එම කමිටුව මේ වනවිටත් සැලසුම් කරමින් සිටියි.

කොළඹ විහාර මහාදේවි උද්‍යානය වැනි හරිත කලාපයක් ලෙස ඉදිකිරීම සැලසුම් කර ඇති මෙහි සියලු වැඩ නිමවූ පසුව එය ගාලු මුවදොර පිටිය මෙන් පස් ගුණයක් විශාල වෙනු ඇතැයි පැවසෙයි. එසේම එය මහජනයා වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ විවෘත වීමත් විශේෂත්වයකි.

“මෙම කලාපය කොළඹ වරාය නගරය පරිසරය වෙත දක්වන දායකත්වය තවත් විදහා දක්වන්නක් වේවි. මෙතැනදී එම උද්‍යානය තුළින් ඇල මාර්ගයක්ද ගලා බසින ලෙස සකස් කෙරෙන අතර, ඒ හරහා නීල  හරිත පරිසරයක් බිහි වේවි.” විජේසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටියි.

එසේම කොළඹ වරාය නගරය තුළ අවශ්‍ය යටිතල පහසුකම් ඉදිකිරීමේදී මෙන්ම එහි සන්නිවේදන, විදුලි, ස්වාභාවික වායු සහ ජල සබඳතා ලබා දීමේදී ද වඩාත් තිරසාර ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කිරිමටත්, එම කටයුතු කළමනාකරණයේදීද එම ක්‍රමවේදම ආරක්ෂා කිරිමටත් මෙම කොළඹ වරාය නගරයේ පරිසර කළමනාකරණ සැලසුම් කමිටුවේ අදහස වී තිබේ.

Visits: 55

Leave a Reply

Your email address will not be published. Required fields are marked *