උතුර සහ උතුරු මැද ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය ගන්නේ 250% පොළියටලු

උතුර සහ උතුරු මැද ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය ගන්නේ 250% පොළියටලු

උතුර සහ උතුරු මැද පළාත් තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් පිරිසස් එම මුදල් ලබා ගෙන ඇත්තේ 36%ත් – 250%ත් දක්වා වූ අධික පොළියකට බව අනාවරණය වී ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව මේ වනවිට එම ණය ලබා ගත් පුද්ගලයන් සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත්වීමද ඇතුළු විවිධ සමාජ ගැටලු රැසක් එම පළාත් තුළ නිර්මාණය වී ඇතැයිද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතරින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් විවිධ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් පිරිස 14,000ක් පමණ වන බවත්, ඔවුන් සියලු දෙනාම එම මුදල් නැවත ගෙවා ගැනීමට නොහැකිව අසරණභාවයට පත්ව ඇති බවත් එම අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 

මෙම ණය ගැටලුව පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් මෙම ක්ෂුද්‍ර මූල්‍ය උගුලට හසුවුණු පිරිසට සහන සැලසීම සඳහා පෙර පැවැති රජය මගින් ලබා දුන් රුපියල් මිලියන 250ක මුදලින් මේ දක්වා වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 9.76ක් පමණක් බවද අනාවරණය වී තිබේ. 

ඒ අනුව මේ දක්වා සහන ලබාදීමට හැකියාව ලැබී ඇත්තේ ණය ලබා ගත් 227 දෙනෙකු සඳහා පමණකි. 

මෙම වැඩසටහන මගින් රුපියල් 40,000කට වඩා අඩු ණය මුදල් ලබා ගත් පිරිසට පමණක් සහන සැලසීම ඊට හේතු වී තිබේ. 

එසේම 2018 මැයි 31 ට පෙර ණය මුදල් ලබා ගත් පිරිසට පමණක් එම සහන සැලසීමද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම පළාත්වල සිටින ගොවි ජනතාවට නියඟය ඇතුළු ස්වාභාවික විපත් නිසා කන්න කිහිපයක් හානි වූ අවස්ථාවලදී මෙවැනි ණය ලබා ගැනීම්වලට යොමු වන බවත්, සරල කොන්දේසි යටතේ නිවසටම පැමිණ ලබා දෙන අදාළ ණය මුදල් පරිභෝජනය සඳහා වැය කිරීමක් දැකගත හැකි බවත් අමාත්‍යාංශය පවසයි.

එසේම අධික පොළී අනුපාත යටතේ ඇති මෙම ණය මුදල් වෙනුවෙන් තමන් ගෙවිය යුතු පොලී මුදල කොපමණදැයි මෙම ජනතාව නොදැන සිටීමද විශේෂිත තත්ත්වයක් බවද අමාත්‍යාංශය සඳහන් කරයි. 

එහිදී රුපියල් 100ට හෝ 1000ට ගෙවිය යුතු පොලිය පමණක් සඳහන් කරමින් සත්‍ය වසන්කොට මෙම ණය මුදල් ලබා දෙන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කාටුනය ගිහාන් ඩි චිකේරා

Visits: 46

Leave a Reply

Your email address will not be published. Required fields are marked *