කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගම් වර්ගීකරණයට ජනවාරි 20 සිට අලුත් ක්‍රමවේදයක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තු ගත සමාගම් වර්ගීකරණය සඳහා මෙතෙක් පැවැති ක්‍රමවේදය ජනවාරි 20 වැනිදා සිට අත්හිටුවීමට තීරණය කර ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් සඳහන් කර සිටියි. 

ඒ අනුව මෙම වර්ගීකරණය වෙත ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙමින් GICS (Global Industry Classification Standard) ක්‍රමවේදය ඉන් ඉදිරියට භාවිතා කරන බවද කොළඹ කොටස් වෙළෙද පොළ පවසයි.

මෙම GICS වර්ගීකරණය පිළිබඳ වන නියමු ක්‍රියාන්විතයක් කොළඹ කොටස් වෙළෙඳපොළ මගින් 2015 වසරේදී සිදු කර තිබේ. එහිදී එය ද්විතීයක වර්ගීකරණ ක්‍රමවේදයක් ලෙස භාවිතා කෙරී ඇත. 

ඒ හරහා සියලුම ගනුදෙනුකරුවන්ට මෙම GICS වර්ගීකරණය වෙත යම් හුරුවීමක් ලබාදීමක් සහ සුමට හුවමාරුවීමක් සඳහා අවශ්‍ය කාලය ලබා දීමක් සිදු වුණු බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, මෙලෙස ගෝලීය වර්ගීකරණ යාන්ත්‍රණයක් හඳුන්වාදීම හරහා මෙරට වෙළෙඳ පොළ ගෝලීයකරණය වෙත යොමු වීම සඳහා අතිශය වැදගත් බවත්, මේ වර්ගීකරණය හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ටද වඩාත් ඉහළ පහසුකම් සැලසෙන බවත් පවසා සිටියි.

මෙම GICS වර්ගීකරණ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poor’s) සහ MSCI Barra එක්ව සංවර්ධනය කරන ලද්දකි. 

අද වනවිට ලොව පුරා විසිරී සිටින වත්කම් කළමනාකරුවන්, ආයෝජකයන්, උපදේශකයන් මෙන්ම පර්යේෂකයන් ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සියලු දෙනාම පාහේ මෙම GICS වර්ගීකරණය යොදා ගන්නා බවත් කොළඹ කොටස් වෙළෙඳ පොළ දන්වා සිටියි.

මෙලෙස කොටස් වෙළෙඳ පොල ලැයිස්තුගත සමාගම්හි නවත GICS වර්ගීකරණ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා www.cse.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ දුරකතන අංක 011 2 356526 ඇමතීමෙන් ලබා ගත හැකි බවද කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩි දුරටත් සඳහන් කරයි.

Visits: 51

Leave a Reply

Your email address will not be published. Required fields are marked *