ඉන්දියානු බැංකු දෙකක මෙරට මෙහෙයුම් නවතී

මෙරට ක්‍රියාත්මක ඉන්දියානු බැංකු දෙකක් වන ඇක්සිස් බැංකුව (AXIS BANK) සහ අයි.සී.අයි.සී. බැංකුව (ICICI BANK) වෙත සිය මෙහෙයුම් නවතා දැමීම සඳහා අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉන්දියාවේ පිහිටි ඒවායේ මව් බැංකු වෙතින් ලැබුණු ඉල්ලීමකට අනුව, යම් කොන්දේසි යටතේ මෙම අනුමැතිය ලබා දුන් බව මහ බැංකුව සඳහන් කර සිටියි.

ඒ අනුව මෙම බැංකු දෙක වෙත සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම සඳහා වන අනුමැතිය අත්හිටුවා ඇති අතර, මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගැනීමත් ඒ අතර වෙයි. 

එසේම මෙම බැංකු දෙක මෙරට තුළ සිය මෙහෙයුම් අවසන් කිරීම් සම්පූර්ණ කිරීමත් සමග ඒ වෙත ලබා දී තිබූ බලපත්‍රද අහෝසි කර දමන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතරින් ඇක්සිස් බැංකුව ඉන්දියාවේ තෙවැනියට විශාලතම බැංකුව බව සඳහන් වෙයි. 2018 ජුනි මාසය වනවිට එරට පිහිටි ඇක්සිස් බැංකු ශාඛා සංඛ්‍යාව 3,779 කි. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 12,834 කි.

ඉන්දියාවේ විශාලතම පෞද්ගලික බැංකුවක් ලෙස තමන් හඳුන්වා ගන්නා ICICI බැංකුව සතුව 2017 මාර්තු අවසන් වනවිට පැවැති ශාකා සංඛ්‍යාව 4,850කි. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 13,792 කි. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ සුපරික්ෂාව යටතේ ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ලෙස 2011 වසරේදී ආරම්භ වුණු ඇක්සිස් බැංකුවේ කොළඹ කාර්යාලය නො. 356, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටා ඇත. එකල මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතින් එය විවෘත කෙරිණි.

ඇක්සිස් බැංකුව (ශ්‍රී ලංකා) මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයන්, කෘෂිකාර්මික, යටිතල පහසුකම් ව්‍යාපෘති සහ ප්‍රේෂණ යනාදී අංශ වෙත දායකත්වය ලබාදීමට සූදානමින් සිටි බව එහි වෙබ් අඩවිය පවසයි.

ශ්‍රී ලංකාවේ කොළඹ කාර්යාලයට අමතරව සිංගප්පූරුව, හොංකොං, ඩුබායි, ෂැන්ග්හයි යන නගර තුළ ඇක්සිස් බැංකුවේ කාර්යාල පිහිටුවා තිබේ. 

එසේම ඩුබායි, අබුඩාබි, ඩකා සහ ෂාජා නුවර එහි නියෝජිත කාර්යාල පිහිටුවා ඇත. මීට අමතරව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරද එම බැංකුවේ විදේශීය පරිපාලිත කාර්යාලයක් පිහිටුවා ඇත.

2006 වසරේ ජනවාරි මාසයේදී මෙරට මෙහෙයුම් ආරම්භ කරන ICICI බැංකුව අංක 58, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07 යන ලිපිනයේ පිහිටා තිබුණි. 

කෙසේ වෙතත් අද වනවිට මෙරට තුළ ICICI බැංකු මෙහෙයුම් සියල්ල නවත්වා ඇතැයි එහි වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. 

ශ්‍රී ලංකාවට අමතරව එක්සත් ජනපදය, සිංගප්පුරුව, බහරේනය, හොංකොං, කටාරය සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය තුළ පිහිටා ඇත. 

එසේම එක්සත් අරාබි එමීරය, චීනය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ ඉන්දුනීසියාව තුළ එහි නියෝජිත කාර්යාල පිහිටුවා තිබේ. 

මීට අමතරව එක්සත් රාජධානියේ පිහිටුවා ඇති ICICI බැංකුවේ පරිපාලිත කාර්යාලයේ ශාඛා දෙකක් බෙල්ජියමේ සහ ජර්මනියේ පිහිටා ඇත. කැනඩාවේද මෙම බැංකුවේ ICICI බැංකු පරිපාලිත කාර්යාලයක් පිහිටුවා ඇතැයි ICICI බැංකු වෙබ් අඩවිය සදහන් කර සිටියි.

Visits: 58

Leave a Reply

Your email address will not be published. Required fields are marked *